රජයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ නගී

(කොළඹ, ලංකාපුවත්) – රජයේ විදේශ විනිමය සංචිතය දෙසැම්බර් මස අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක විදේශ විනිමය මිලදී ගැනීම, හම්බන්තොට වරාය මෙහෙයුම කටයුතු පැවැරීම වෙනුවෙන් චීන සමාගමෙන් ලැබුණු ගෙවීම හා 2017 දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම්වල සිව්වන වාරිකය ලැබීම හේතුවෙන් ගෙවුම් ශේෂය තවදුරටත් ශක්තිමත් වීමට හා විදේශ විනිමය සංචිතය ඉහළ යාමට හේතු වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (28) මහ බැංකුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

මේ නිසා 2015 හා 2016 යන වසරවලදී හිඟ මට්ටමක පැවැති දළ නිල සංචිත ප්‍රමාණයෙහි අඩුවීමේ ප්‍රවණතාව වෙනස් වී තිබේ. එය 2017 වසර තුළ දී අතිරික්තයක් දක්වා වර්ධනය වී ඇති බවද ආචාර්ය කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.

මේ අනුව පවතින සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව දෙසැම්බර් 27 දා පැවැති මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රතිපත්ති පොළි අනුපාතික වෙනස් නොකොට දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට එහිදී තීරණය වූ බව ද මහබැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

එසේම 2017 වසරේ මුල් මාස 10 තුළ රජයේ ආදායම 11.3% කින් වර්ධනය වී ඇත. එයට ප්‍රධානහේතුව බදු ආදායම ඉහළ යාමයි. මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1370.3 කි. 2016 වසරේ එම කාලය තුළ බදු ආදායම ලෙස ලැබී ඇත්තේ රුපියල් බිලියන 1199.9ක් බව ද මහ බැංකු අධිපතිවරයා කීය.

මෙසේ ආදායම රැස් කිරීම ඉහළයෑම නිසා රාජ්‍ය මූල්‍ය අංශයේ කැපීපෙනෙන වර්ධනයක් සිදුවිය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කුමාරස්වාමි මහතා දැනට ඉහළ ගොස් ඇති උද්ධමනය, මහ බැංකුවේ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනවිට ලබන වසර මුල් භාගයේ දී පහත වැටීමට ඉඩ ඇති බවද පැවසීය.

මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය අධිපති සී.පී.ජේ. සිරිවර්ධන යන මහත්වරුන් හා ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය වයි.ඇම්.ඉන්ද්‍රරත්න මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *