විකෘති වූ නෝට්ටු හුවමාරුවට දීතිබූ කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජනතාව සතුව පවතින විකෘති වූ මුදල් නෝට්ටු වාණිජ්‍ය බැංකු ශාඛාවන් සමග හුවමාරු කර ගැනීමට තවදුරටත් අවස්ථාව සළසමින් එම කාලය 2018 මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මහ බැංකුව වෙත උපදෙස් ලබා දී අැත.

පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය පිළිබඳ ප‍්‍රතිපත්තිය යටතේ විකෘති වූ මුදල් නෝට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු ගෙවීම් සිදු නොකරන බවට පසුගියදා ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබුණි.

තමන් සතුව විකෘති වූ මුදල් නෝට්ටු පවතින්නේ නම් 2017 දෙසැම්බර් 31 වනදාට පෙර බලපත‍්‍රලාභී වාණිජ බැංකු ශාඛාවක් සමග හුවමාරු කරගත යුතු බවට මහ බැංකුව ගන්නා ලද තීරණයක් අනුව 2017 ජූලි මාසයේ සිට ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කෙරුණි.

ඒ අනුව විකෘති කරන ලද කිසිදු මුදල් නෝට්ටුවක් 2018 ජනවාරි පළමුවැනිදායින් පසුව රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් භාර නොගන්නා බව දන්වා තිබූ අතර, මුදල් නීති පනත අනුව පනවන ලද අදාළ රෙගුලාසි යටතේ එම මුදල් නෝට්ටු ශී‍්‍ර ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර කිසිදු ගෙවීමක් සිදු නොකරයි.

මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබූ අතර, ශී‍්‍ර ලංකාවේ වලංගු මුදල් නෝට්ටු හිතාමතාම විකෘති කරන පුද්ගලයන්ට එරෙහිව 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන දඩුවම් පැමිණවීමට අවස්ථාව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *