විශිෂ්ටත්වය කරා යන සුබ නව වසරක් වේවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –අතීතයට එක් වෙමින් ගතව යන හැම මොහොතක්ම අපව දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට ළඟා කරන අතර, උදා වන හැම මොහොතක්ම අපගේ අභියෝගාත්මක හැකියා විනිශ්චයන්ට බඳුන් කරන බවත්, එහිලා අප දක්වන උත්කෘෂ්ට කැප වීම සහ අධිෂ්ඨානශීලි ධෛර්යය විසින් අප විශිෂ්ටත්වය කරා රැගෙන යනු ලබන බවත් නව වසරට සුබ පතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහි මෙසේද සඳහන් වේ:

ගත වූ වසර සැලකිය හැක්කේ රටක් ලෙස අපට සාධනීය අපේක්ෂා අපමණක් සාක්ෂාත් කරගත හැකි වූ වසරක් ලෙසය. එමෙන්ම අප 2018 වසරට පිවිසෙන්නේද නිසැකවම ජය ගත යුතුව ඇති අභියෝග රැසක්ද සමඟිනි. රටක් ලෙස අත්පත් කරගත යුතුව ඇති ආර්ථික සමෘද්ධිය මෙන්ම, ශක්තිමත්ව තහවුරු කරගත යුතුව ඇති සමාජ සංහිඳියාව, පරිපූර්ණ කළ යුතු මානව නිදහස මෙන්ම ධරණීය අවකාශයේ තවදුරටත් ප්‍රවර්ධනය කරගත යුතුව ඇති ශ්‍රී ලංකාවේ දිදුලන ප්‍රතිරූපය ඒ අතර ප්‍රමුඛ වේ. නව වසර උත්කර්ෂවත් එළැඹුමක් බවට පත් කළ හැකි වනු ඇත්තේ ඒ සඳහා වන අපගේ අධිෂ්ඨානය හා කැප වීම මතය.

එසේම නව වසර එළඹෙන්නේ, දේශයේ සංවර්ධන ක්‍රියාවලියේ සමෘද්ධිමත් සමාරම්භයක් සලකුණු කරන, ශ්‍රී ලාංකික වාරි විස්මිතයේ මහා ප්‍රාතිහාර්යය ජනගත කෙරෙන අසිරිමත් කඩයිම අබිමුවේදීය.

මොරගහකන්ද ජලාශයේ නීල දියවරින් කෙත්බිම් ඉසුරුමත් වන, දේශයම සුවපත් වන, දහසකුත් අනාගත අපේක්ෂා දැල්වෙන අරුමැසි හෝරාවක සමස්ත ශ්‍රී ලංකාවාසී ඔබට සෞභාග්‍යයෙන් සපිරි නිදුක් නීරෝගි නව වසරකට සුබ පතමි!

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *