නව වසර උදාවත් සමග ජනපති ඓතිහාසික කතරගම පුදබිමට

(කොළඹ, ලංකාපුවත්) –2018 නව වසර උදාවත් සමග ඊයේ මධ්‍යම රාත්‍රියේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

පළමුව ඓතිහාසික කිරිවෙහෙර සමිදුන් වැදපුදාගත් ජනාධිපතිතුමා සතරමහා දේවාල ද වැදපුදා ගනිමින් ආශීර්වාද ලබාගත්තේය.

දේවාල පරිශ්‍රයේ පිහිටි ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික පිරිත් මණ්ඩපය විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතිනි.

රටට සහ ජනතාවට සෙත්පතා වාර්ෂිකව ඓතිහාසික කතරගම පුද බිමේ පැවත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ද අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය කපුගම සරණතිස්ස හිමිපාණන් වහන්සේ, කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක දම්මින්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊයේ පස්වරුවේ පොළොන්නරුවේ සිට කතරගම දක්වා පැමිණෙන අතරතුර මාළිගාවිල පුද බිම වෙත ද ගිය ජනාධිපතිතුමා බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වැඳපුදා ගත්තේය.

අනතුරුව පුදබිම වෙත පැමිණ සිටි සැදැහැවත් ජනතාවගේ ද සුවදුක් විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *