සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවැනි අදියර හෙට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතු දම වඩාත් ශක්තිමත් කරමින් මීට වසර එකහමාරකට පෙර මෙරටට පිරිනැමුණු සුවසැරිය ගිලන්රථ සේවාවේ දෙවැනි අදියරට හෙට (03) කොළඹ අරලියගහ මැදුරේදී මුල පිරේ.

මේ සමඟම ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් සහිත නව ගිලන්රථ 209 ක්, ජාතික මට්ටමේ සුවසැරිය මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු පුළුල්කිරීම, සුවසැරිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුව හා වියදම් මුදල් පවා අප රටට හිමිවනබව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍යට පැවසීය.

මුල් අදියර යටතේ මෙරටට ලැබුණු ගිලන්රථ 88න් 56ක් බස්නාහිර පළාතේ ජනතාවගේ සේවයට යොදා ගෙන තිබුණි. එම ගිලන්රථවලින් 22ක් කොළඹ දිස්ත්‍රික්කයටද, ගම්පහට හා කළුතරට ගිලන් රථ 17 බැඟින් ද ලබා දී තිබුණි.

ඉතිරි ගිලන්රථ 32 දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන වන ගාල්ලට 14ක්, මාතරට 12ක් හා හම්බන්තොටට ගිලන්රථ 06ක් ලෙස ලබාදී තිබුණු බව නියෝජ්‍ය ඇමැතිවරයා පැහැදිලි කළේය.

මෙම ගිලන්රථ සේවාව ආරම්භ කිරීම වසර 2016 ජූලි 28 වැනිදා සිදු වූ අතර, එදා මෙදා තුර 56000ක් මේ සේවාව ලබාගෙන ඇතැයි සුවසැරිය වැඩසටහන් කළමනාකරු ගයාන් චතුරංග මහතා පැවසීය. දිනකට මේ සේවාව ලබා ගැනීමේ සාමාන්‍ය 150ක් වේ. මේ සේවාව ලබාගෙන රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව ප්‍රමුඛ සියලු දෙනාටම රෝගීවූ මොහොතක තම ජීවිත සුරක්ෂිත කර ගැනීමට කඩිනමින් රෝහල් කරා පිටත්වීමට හැකියාව ලැබුණු බවද ගයාන් චතුරංග මහතා කීය.

දරු ප්‍රසූතියක් සඳහා හදිසියේ රෝහල් ගතවීමට මේ සුව සැරිය ගිලන් රථ සේවාව ලබා ගත් ගැබිනි මව්වරුන් අතුරින් 21 දෙනෙක් මේ සේවාව තුළ දීම දරු ප්‍රසූතිය සිදුකොට ඇතැයිද වාර්තාවේ.

මේ ගිලන්රථ සේවාවේ කාර්ය මණ්ඩලය ලෙස හදිසි වෛද්‍ය තාක්ෂණික නිලධාරියෙකු, රියදුරෙකු පුහුණු කැරේ. මේ වනවිට මෙහි කාර්ය මණ්ඩලය 900 දෙනෙකි. මුළු රට පුරාම මේ සේවාව ව්‍යාප්ත කිරීමට පියවර ගැනීමත් සමඟ මේ කාර්ය මණ්ඩලය දෙදහසකට වැඩි වන බවද ගයාන් චතුරංග මහතා සඳහන් කෙළේය. පළාත් දෙකකට පමණක් සීමා වී තිබූ මේ හදිසි ගිලන්රථ සේවාව මුළු රටේ ඉතිරි පළාත් හතේම ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසමින් හෙට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී එකඟතාවය පළකරනු ඇත.

මුල්‍ය ප්‍රදානයක් සහිතව ගිලන්රථ 88ක් සුවසැරිය පළමු අදියර ක්‍රියාත්මක කිරීමට මීට වසර 1 ½ කට පෙර මෙරටට ලබා දුන් ඉන්දීය රජය, ඉන් බස්නාහිර හා දකුණු පළාත් දෙකේ රෝගී ජනතාවට නොමිලේ මේ සේවාව ලබා ගැනීමට පහසුකම් ලබා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *