2018 වසර ආරම්භයේම දඹුල්ලෙන් තුන් නිවුන් දරු උපතක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසර ආරම්භයත් සමගම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ විසි හත් හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදුකර තිබේ.

මෙසේ තුන් නිවුන් දරුවන් බිහි කොට ඇත්තේ දඹුල්ල පහල ඇරෑවුල පදිංචි ප්‍රියානි මලීකා ප්‍රනාන්දු නම් එක්දරු මවන් විසිනි.

දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරි විශේෂ දොස්තර හිරන්ති සෝලංගආරච්චි මහත්මිය විසින් මේ සාර්ථක දරුවන් උපත සදහා දායකත්වය ලබා දුන්නේය. මෙම දරුවන් තිදෙනාම ගැහැණු දරුවන් වීම විශේෂත්වයකි. දරුවන් තිදෙනාම ඉතාමත් හොඳ නීරෝගී තත්ත්වයේ පසුවේ.

මෙම දරුවන්ගේ මව ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ තමන්ට මීට පෙර එක් පුතෙකු සිටින බවත් එම පුතාට වයස අවුරුදු 5 ක් සපුරා ඇති බවය. එමෙන්ම තම සැමියා කොළඹ ලොරියක සේවය කරන අයෙකු බවත් දරුවන් තිදෙනා හදාවඩා ගැනීම සඳහා ආර්ථික දුෂ්කරතා පවතින බවය.

දඹුල්ල මූලික රෝහලේ මාතෘ වාට්ටුවේ හෙද සොයුරියන් කියා සිටියේ දැනට අලුත උපන් දියණියන් තිදෙනාට මවගේ කිරි ප්‍රමාණවත් බවත් මව පෝෂණය කිරීමේ කටයුතු සිදු කළ යුතු බවය. එමෙන්ම මෙම දරුවන් තිදෙනාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් උපකරණ ලබාදීම අවශ්‍ය බවය.

දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ගාමිණී සේනානායක මහතා කියා සිටියේ තුන් නිවුන් දරුවන්ගේ මෙන්ම මවගේ ද සෞඛ්‍ය හොඳ තත්ත්වයෙන් පැවතීම නිසා දින 2 කින් රෝහලෙන් නික්ම යෑමට හැකියාව පවතින බවය.

මෙම දරුවන්ට කවුරුන් හෝ උදව් උපකාර කරන්නේ නම් ඔවුන්ගේ ලිපිනය වන්නේ ප්‍රියානි මලීකා ප්‍රනාන්දු අංක 161 පහල ඇරෑවුල දඹුල්ල ,ඇයගේ දුරකතන අංකය 071 36 97 854 වේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *