“නව නිපැයුම් දිරිය ” මඟින් නව නිපැයුම් වාණිජකරණය කිරීම සඳහා මූල්‍යාධාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් දේශීය නව නිපැයුම්කරුවන්ට සිය නිර්මාණ ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික, මූල්‍ය හා නීතී ආධාර ලබා දීමේ පරමාර්ථ ඉටු කර ගැනීමට නව නිපැයුම්කරුවන් සඳහා වූ අරමුදල ආරම්භ කර තිබේ.

ඒ මගින් නිර්මාණශීලී දක්ෂතා ඇති ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය කර ප්‍රචලිත කිරීමට, ඒවා නිෂ්පාදනයන් බවට පත් කර දේශීය/විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට හා නව රැකියා උත්පාදනයට මඟපෙන්වමින් නිපැයුම්කරුවන් සඳහා ආධාර ලබා දීම සිදු කරයි.

ඒ යටතේ කොමිසම වෙතින් මූල්‍යාධාර අයදුම් කර සිටින නව නිපැයුම්කරුවන් අතරින් තෝරා ගත් ඉහළ වාණිජකරණ විභවයක් සහිත නව නිපැයුම් සඳහා මූල්‍යාධාර ලබා දීමට “නව නිපැයුම් දිරිය” වැඩසටහන කොමිසම විසින් දියත් කර ඇත.

ප්‍රවීණ විනිසුරු මඩුල්ලකගේ විනිශ්චය අනුව අදාල තෝරා ගැනීම් සිදුකෙරේ. එහි පළමු අදියර යටතේ නිර්මාණශිල්පීන් හතර දෙනෙකු සඳහා මූල්‍යාධාර ලබා දීම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ දී සිදුවිය.

නවෝත්පාදන අදහස් යථාර්ථයක් බවට පත් කරලීමේ අරමුණ මුදුන්පත් කිරීම වෙනුවෙන් ජාතික නවෝත්පාදන සේවා මධ්‍යස්ථාන (National Incubation Centres) දිස්ත්‍රික්ක 05ක් මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කටයුතු කරයි. මේ වන විට එහි ප්‍රථම මධ්‍යස්ථානය ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇත.

දෙවන මධ්‍යස්ථානය යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටද සම්පාදනය කර ඇති අතර එම මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා වැය වන මුදල වන රු. 9,664,805.45 (රුපියල් නව මිලියන හය ලක්ෂ හැටහතර දහස් අටසිය පහක් සහ ශත හතළිස්‌ පහ) ක මුදල යාපනය විශ්වවිද්‍යාලය වෙත පිරි නැමීම ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් සිදු කෙරිණි. යාපනය විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය අත්පුතරාජා අරුලම්පලම් මහතා වෙත චෙක්පත පිරිනැමීය.

ශ්‍රී ලාංකීය නව නිපයුම්කරුවෙකු වන ප්‍රසන්න විතානගේ මහතා විසින් නිර්මාණය කරනු ලැබූ “සූර්ය තාප වියලනය” නම් නව නිපැයුම වාණිජකරණය කිරීම සඳහා වාණිජ සහකරුවෙකු ලෙස සම්බන්ධ වීමට චීනයේ, Apricus Solar Co. Ltd. ආයතනය කැමැත්ත පල කර ඇති අතර සමඟ කොමිසමේ මැදිහත් වීමෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ක්‍රියා කරනු ලබයි.

මෙම වාණිජකරණ ක්‍රියාවලියේ මුලික පියවරයන් ලෙස දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය අවබෝධය ඉහළ නැංවීම හා අනාගත සහයෝගීතාවයට මුලික අඩිතාලම දැමීමේ අරමුණින් Apricus Solar Co. Ltd. ආයතනය වෙත ශ්‍රී ලාංකීය රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහේෂ් එදිරිසිංහ සහ ප්‍රසන්න විතානගේ යන මහත්වරුන් කාර්මික සංචාරයක නිරත වන අතර ඉදිරියේ දී ශ්‍රී ලාංකීය නාමය සහිත නිරමාණයක් ලෙස එය ජාත්‍යන්තර වෙළඳ පොළට එක්කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ප්‍රසන්න විතානගේ මහතා වෙත චීන සංචාරය සඳහා ගුවන් ටිකට්පත ප්‍රදානය කිරිම ද අමාත්‍යතුමා අතින් සිදුවිය.

මෙම අවස්ථාවට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් උදය සෙනෙවිරත්න, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති ආචාර්ය මහේෂ් එදිරිසිංහ යන මහතවරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *