ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ගැන අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – වරාය ජාත්‍යන්තර මූල්‍ය නගරය ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) මූල්‍ය නගරය (Port City) නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

ඉන්දියන් සාගරය තුළ වෙළෙදාම් කටයුතු කිරීමට සුදුසු මූල්‍ය හා වානිජ නගරයක් බවට මෙම වරාය මූල්‍ය නගර ව්‍යාපෘතිය පත් කරන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වැඩකටයුතු සියල්ල ශ්‍රී ලාංකික ජනතාවට ආඩම්බර විය හැකි ආකාරයට අවසන් කිරීම සිය බලාපොරොත්තුව බව ද සිහිපත් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය නගරය (Port City) නිරීක්‍ෂණ චාරිකාවට ඊයේ (02) සවස එක්වූ අග්‍රාමාත්‍යවරයා එම නිරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මූල්‍ය හා වානිජ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ සංකල්පය ක්‍රියාත්මක වන ආකාරය මේ ස්ථානයේදී අපට දැකගත හැකියි. වසර 99ක බදු පදනම මත චයිනා හාබර් සමාගම විසින් මුහුද ගොඩකරමින් මෙම ස්ථානයේ මූල්‍ය හා වානිජ නගරය ඉදිකිරීම දැන් සිදු කරනවා. අප ඉන් ප්‍රයෝජන ලබා ගත යුතුයි. එනම් ඉන්දියන් සාගරය තුළ වෙළෙදාම් කටයුතු කිරීමට සුදුසු මූල්‍ය හා වානිජ නගරයක් බවට අප මෙම ඉදිවෙමින් පවතින වරාය නගරය පත් කර ගත යුතුයි. ඒ වෙනුවෙන් මෙම වරාය නගරය අයිති ප්‍රදේශය වෙනම මූල්‍ය දිස්ත්‍රික්කයක් ලෙසත් නම් කර තිබෙනවා. දෙලක්‍ෂයකට අධික ජනතාවට මෙම නගරයෙන් ජීවත්වීමේ හැකියාව ලැබෙනවා. යුරෝපය, සිංගප්පූරුව ආදී රටවල් වල තිබෙන සියලූ පහසුකම්වලින් සමන්විත නවීන නගරවලට සමානව ඉතා අලංකාරවත් ලෙස මෙම නගරය ඉදි කරනවා.

මෙය ඉදි කෙරෙන්නේ චයිනා හාබර් සමාගම ශ්‍රී ලංකාවේ කෙරෙන ප්‍රධාන ආයෝජනයක් ලෙසයි. ඒ වගේම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහයෝගය ඇතිව මෙම වැඩකටයුතු සිදු කෙරෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව පණක් ලබාදෙන ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකියි. මූල්‍ය සේවා, වානිජ සේවා ආදී සියලූ සේවා කටයුතු මෙම වරාය නගරය හරහා ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම සියලූ පහසුකම්වලින් සමන්විත විශාල උද්‍යානයක් ද මෙම වරාය නගරය තුළ ඉදිකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ජනතාවට ආඩම්බර විය හැකි ආකාරයකට අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් චයිනා හාබර් සමාගමටත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයටත් මම ස්තූතිය පිරිනමනවා.

සියලූ යටිතල පහසුකම් දියුණු කරමින් ගොඩනැගිලි ඉදිකරමින් වර්තමානයේදී අපට සිතා ගැනීමටත් නොහැකි මට්ටමේ දියුණුවක් සහිත නවීන නගරයක් 2020 වන විට මෙහි ඉදි වනවා. මෙය ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙලේ එක් අදියරක්. වරාය හා ගුවන් තොටුපොළ සේවා දියුණු කරමින්, විශාල කර්මාන්ත කරණයක් ඇති කරමින්, මූල්‍ය සේවා, සංචාරක ව්‍යාපෘති ආදිය සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩකටයුතු අපි ආණ්ඩුවක් ලෙස ක්‍රියාවට නංවමින් සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ආණ්ඩුව මෙම වැඩකටයුතු භාර ගෙන තිබෙනවා. ඒ වගේම ඊට අදාළ නීති මෙම වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

රටකට සාර්ථක අනාගතයක් නිර්මාණය කිරීමට යම් කාලයක් ගත වනවා. සියලූ දේ එකවර සිදු කළ නොහැකියි. අද වන විට මෙම වරාය නගර ව්‍යාපෘතිය අප කෙසේ හෝ ආරම්භ කර තිබෙනවා. මේ රට ණය බරට යට කර තබනවා වෙනුවට සංවර්ධනය වූ , හොඳ රැකියා බිහි කළ හැකි ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අපි කටයුතු කරනවා. එම නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චයිනා හාබර් සමාගමටත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයටත් මම නැවත වතාවක් ස්තුතිවන්ත වනවා. “

මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *