ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍යවරයා පවසයි

(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධනය සහ සංහිඳියාව කරා ගමන් කරන ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහය ලබාදීමට සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කෝනෝ මහතා අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරතවන්නේ වසර 15 කට පසුව වීම ද විශේෂත්වයකි.

මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර හොඳ ව්‍යාපාරික සබඳතාවක් මේ වන විට පවතින බවත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පිළිබඳ තවදුරටත් සොයා බැලීමට විශේෂ නියෝජිත පිරිසක් මෙම මස අගදී ශ්‍රී ලංකාවට එවන බවත්ය.

ශ්‍රී ලංකා – ජපාන ඓතිහාසික මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා සැබෑ මිතුරෙකු ලෙස ජපානය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන සහය කෘතවේදීව අගය කළේය.

විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික, සංස්කෘතික සහ යටිතල පහසුකම් ක්ෂේත්‍ර සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

එමෙන්ම පසුගිය යුද සමයේදී දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ජපානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳ ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ජපානයේ පැවති ජී-7 සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී තමා වෙත ලබාදුන් ඉහළ පිළිගැනීම වෙනුවෙන් ද ජපාන විදේශ අමාත්‍යවරයා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගානුමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *