ජනවාරි අට විප්ලවයේ තෙවසර අද

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සමාජ ආර්ථික දේශපාලන විප්ලවයකට මුලපිරූ 2015 ජනවාරි අට ආණ්ඩු පෙරළියට අදට(08) තෙවසරක් සම්පූර්ණ වේ.

ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියටත් ආර්ථික වශයෙන් පහළම අඩියටත් සමාජයීය වශයෙන් ත්‍රාසය සහ භීතියටත් පත්ව සිටි රටක් යළි නැගී සිටීම ඇරඹුණේ ගතවූ තෙවසර තුළයි. එකී ගමන් මඟෙහි ලැබූ ජයග්‍රහණ රැසක් සමඟ ජන ජීවිතය නගා සිටුවීමට වත්මන් රජයට හැකිව තිබේ. මෙම ජයග්‍රහණයේ දැවැන්ත ප්‍රතිලාභ රැසක් ජනසතු කිරීමට අද දිනයේ රජය සැලසුම් කර ඇත්තේ ඒ අනුවය.

2015 ජනවාරි අට ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරන අවස්ථාව වන විට මෙරට විශාල ණය උගුලක සිරවී පැවතුණි. එමෙන්ම මානව හිමිකම් මූලික කරගනිමින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දී සිටියේය.

ජාත්‍යන්තර වශයෙන් විරසකව පැවති රාජ්‍යයන් යළි ශ්‍රී ලංකාවට හිතවාදී පිළිවෙතක් අනුගමනය කළේ පසුගිය තෙවසර තුළයි. රටක් ලෙස නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම මෙන්ම ජනතාවට නිදහසේ ජීවත් වීමේ අවකාශය ඇතිකරදීම, ගතවූ තෙවසර තුළ රජයක් ලෙස තහවුරු කර තිබෙනවා. පාර්ලිමේන්තුවේත් මහජනතාවගේත් අදහස් ලබාගනිමින් රටට ගැළපෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ කටයුතු පළමු වරට ආරම්භ වූයේ ද වත්මන් රජය යටතේය. එම කටයුතු ද මේ වන විට අවසන් අදියරක් වෙත ළඟාවෙමින් ජනතා පොරොන්දු ඉටුකිරීමට රජය සූදානමින් පසුවේ.

2025 පොහොසත් රටක් ඉලක්ක කරගත් ආර්ථික වැඩපිළිවෙළ තුළ සියලු දෙනාට ප්‍රතිලාභ ගලා යන ක්‍රමවේදයක් තුළින් දිළිඳුකම තුරන් කිරීම යථාර්තයක් බවට පත්කිරීමට අවශ්‍ය සැලසුම් රජය මේ වන විටත් සකස්කර අවසන්ය.

නීලහරිත ආර්ථිකයක් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා ලෙස මෙවර රජය ඉදිරිපත් කළ අයවැය ආර්ථික දැක්ම තවදුරටත් තහවුරුකර ඇත්තේ එම වැඩපිළිවෙළය.

ගතවූ තෙවසර තුළ රජය දියත් කළ ජනතා මෙහෙවර අතර රාජ්‍ය සේවකයින්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩිවීම කැපී පෙනේ. මීට අමතරව රජයේ සහ පෞද්ගලික අංශයේ පාසල් සිසුන් ලක්‍ෂ 45 ක් වෙනුවෙන් සුරක්‍ෂා රක්‍ෂණාවරණය ලබාදීම සුවිශේෂී කාර්යභාරයකි. ඖෂධ මිල පහළ දැමීමත් සුවසැරිය නොමිලේ ගිලන් රථ සේවයක් ලබාදීමත් රජයේ ජනතා මෙහෙවරේ ප්‍රමුඛ කාර්යයකි. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ නිවාස ගැටලුව විසඳීමට සැමට සෙවණ සහ ග්‍රාම ශක්ති නිවාස යෝජනා ක්‍රම ඇරඹීම ද ඒ අතර කැපී පෙනේ. එහිදී පුරනැගුම වැඩසටහන ආරම්භ කළේ ආසියානු බැංකුවේ ඩොලර් මිලියන 59 ක ආධාර මතයි. බොහෝ ගැටලු රැසකට මඟ පැදූ සයිටම් ආයතනය අහෝසි කිරීම ද රජයේ ජනතා පොරොන්දු ඉටුකිරීමකි.

මෙරට වාරි ශිෂ්ටාචාරයේ ප්‍රාතිහාර්ය ලෙස සැලකිය හැකි මොරගහකන්ද ජලාශය යථාර්ථයක් බවට පත්වීම ගතවූ තෙවසර තුළ රජරට ජන ජීවිතය නගා සිටුවීමේ ස්වර්ණමය අවස්ථාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *