සෝභිත හිමි නමින් රාජගිරිය ගුවන් පාලම නම් කිරීමට යෝජනාවක්

(කොළඹ, ලංකාපුවත්) –ඉකුත් වසර 03 තුළ වත්මන් රජය ජනතාව වෙනුවෙන් රට තුළ ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ කඩිනමින් නිම කෙරුණු තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස රාජගිරිය ගුවන් පාලම හඳුන්වාදිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කරයි.

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසදුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපතිතුමා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

ඉන් අනතුරුව පැවැති උත්සවයේ දී ජනාධිපතිතුමා කියා සිටියේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, සමාජ අයිතීන් සහ මූලික අයිතිවාසිකම් මෙන්ම මාධ්‍ය නිදහස ද පිරිහී තිබූ යුගයක මේ රටේ ජනතාව අලුත් ගමනක් යාමට 2015 ජනවාරි 08 වනදා තමන් මේ රටේ රාජ්‍ය නායකයා ලෙස තෝරාගත් බව ය. ඉන් අනතරුව ගතවූ තෙවසර තුළ රට ඉදිරියට ගෙන යාමට තිබූ අභියෝග රැසක් ජයග‍්‍රහණය කරමින් ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට තමාට හැකි වූ බවද කියා සිටියේය.

ජනවාරි 08 වනදා එම උදාර විප්ලවයට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක් වන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නමින් මෙම ගුවන් පාලම නම් කිරීම සුදුසු බවද ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *