තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ දිනය කල් යයි

(කොළඹ, ලංකාපුවත්) –ලබන පෙබරවාරී 10 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේදී තැපැලෙන් ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබාඇති තැපැල් ඡන්ද හිමියන් වෙත තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු පැකැට්ටු යැවීම හෙට (11) සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය සඳහන් කරයි.

උතුරු පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අනිද්දා (12) සිදු කෙරෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ජනවාරී 11 වැනි දිනට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ජනවාරී 13 වැනි දින සිදු කෙරේ.

තැපැල් ඡන්ද පත්‍රිකා සමඟ ඡන්ද දායකයන් වෙත යැවීමට නියමිත අපේක්ෂක නාමලේඛනය හෙවත් ගෘහ දැන්වීම රජයේ මුද්‍රණාලයෙන් ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් හා යෝජිත තැපැල් වර්ජනය අද (10) දින මාධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වුවහොත් එම ඡන්ද පත්‍රිකා පැකට්ටු බෙදාහැරීමට අවශ්‍ය පියවර සංවිධානය කළයුතු වීම හේතුවෙන් මෙම කල් තැබීම සිදුකරන ලදී.

ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අනිද්දා (12) දිනට නියම කර තිබූ තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු ද ඒ අයුරින්ම සිදු කෙරෙන අතර එම දිස්ත්‍රික්කවල හෙට (11) දිනට නියමිත කටයුතු ලබන 13 වැනි දිනට කල් තබා ඇති බව ද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *