පසුගිය වසරේ දෙලක්‍ෂයකට අධික පිරිසක් රැකියා සදහා විදෙස් ගත වෙලා

(කොළඹ, ලංකාපුවත්) – 2017 වර්ෂය තුළ දී විදේශ ගත වී ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 212,216ක් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

ඉන් පිරිමි හ්‍රමිකයින් ප්‍රමාණය 139,274ක් වන අතර, කාන්තා ශ්‍රමිකයින් ප්‍රමාණය 72,942කි. මේ අතරින් විදේශගත වී ඇති ගෘහ සේවිකාවන් ප්‍රමාණය 56,109කි.

2017 වර්ෂයේ විදේශ ගත වූ ශ්‍රමිකයින් අතරින් 95,059දෙනෙකු පුහුණු ශ්‍රමිකයින් වන අතර 61,048දෙනෙකු නුපුහුණු ශ්‍රමිකයින් වේ. මේ අතරින් වැඩිම පිරිසක් විදේශ ගත වී ඇත්තේ කටාර් රාජ්‍යයට ය. එම ප්‍රමාණය 56,650කි.

සෞදි අරාබියට රැකියාව සදහා ගොස් ඇති ශ්‍රමික ප්‍රමාණය 37,957කි. කුවේට් රාජ්‍යයට රැකියාව සදහා ගොස් ඇති ප්‍රමාණය 37,418කි. ඩුබායි රාජ්‍යය සදහා ශ්‍රමිකියන් 36,657දෙනෙකු රැකියාව සදහා ගොස් ඇති අතර දකුණු කොරියාවේ රැකියාව සදහා හ්‍රමිකයින් 5,805දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

මේ අතර විදේශ රැකියා සදහා ගොස් වසර ගණනාවක් කිසිදු වැටුපක් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 123දෙනෙකු 2017 වර්ෂය තුළ දී අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත දිවයිනට ගෙන්වාගෙන ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේය. ඔවුනට රුපියල් පන්කෝටි අසූ හතර ලක්‍ෂ පනස් දහස් හයසිය අසූ තුනක මුදලක් හිඟ වැටුප් ලෙස ලබාදී තිබේ.

මීට අමතරව විදේශ රැකියා කරමින් සිටින අතරතුර දී රැකියා ස්ථානයේ ඇති වූ ගැටළු හෝ වෙනත් හේතුමත තානාපති කාර්යාල සුරක්‍ෂා නිවාසවල රැදී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකියන් 2,390දෙනෙකු පසුගිය වර්ෂය තුළ දිවයිනට ගෙන්වාගෙන ඇත. ඉන් වැඩිම ශ්‍රමික ප්‍රමාණය වන 867ක පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලයේ පිහිටි සුරක්‍ෂා නිවාසයෙන් වන අතර 2018 වර්ෂය වන විට තතවත් 99ක පිරිසක් එම සුරක්‍ෂා නිවාසයේ ඉතිරිව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =