මැතිවරණයෙන් පසුව පෙරළියක් කරන්න එජාපය සූදානම් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂය තවත් පෙරළියක් සිදු කිරීමට සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

රට සංවර්ධනය කිරීම වෙනුවෙන්, අනාගත පරපුර ගොඩ නැගීම වෙනුවෙන් වූ එක්සත් ජාතික පක්‍ෂයේ අභිලාශයන් ඉටු කිරීමට පසුගාමී විය යුතු නැතැයි ඔහු අවධාරණය කර සිටී. විවිධ දේශපාලන කි‍්‍රයාවලීන් ඔස්සේ පසුපසට විසි වී තිබුණු රටක් තරමකින් හෝ ඉදිරියට ගැනීමට පසුගිය දෙවසරක කාලයේදී හැකි වූ බවත් එහි ගෞරවය මුළුමනින්ම එක්සත් ජාතික පක්‍ෂය වෙත හිමි විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්‍ෂය රටට හිමිකරදුන් ජයග‍්‍රහණවල අයිතිය හිමි කර ගැනීමට හා ඒවායේ සර්ව සම්පූර්ණ හිමිකරුවන් වීමට උත්සාහ කරන සියළු පාර්ශව දේශපාලන අවස්ථාවාදීන් ලෙස හැදින්වීමේ වරදක් නොමැති බවද ඔහු කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණයට අදාලව ඊයේ (11) පල්ලම ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවසීය.

වියරු වැටී තිබුණු දේශපාලන ධාරාව වෙනස් කිරීමටත් නව ජනාධිපතිවරයෙකු පත් කිරීමටත් නායකත්වය ලබා දුනනේ එක්සත් ජාතික පක්‍ෂය බවත් පසුව ජනාධිපතිවරයාගේ අයිතිය ඉදිරියට දමමින් රජයට එක්වූ පුද්ගලයින් තමන්ගේ යැයි කියමින් සියල්ල උදුරා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවත් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. එවැනි තත්ත්වයක් තුළ නැවතී නිකමුන් සේ බලා සිටීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් නොමැති බවත්, රට වෙනුවෙන් අනිවාර්යෙන් ඉටුකළ යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ රට වෙනුවෙන් ඉටු කළ යුතු කාරණා පසුපසට විසිකර දමමින් දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට රජයට සම්බන්ධ වී සිටින ඇතැම් කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බවයි. එවැනි තත්ත්වක් තුළ එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි ගමන අඩපණ කිරීම ඔවුන්ගේ උත්සාහය වී ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

පෙහොට්ටු පිලක් අටවා ගනිමින් තවත් කල්ලියක් රට වැනසීමේ උත්සාහයක නිරතව සිටින බවද පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන් පිළිබඳ පැවැසීමට වචන නාස්ති කිරීමටද තමන් අකමැති බවයි. ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ නායකයෙක් විවිධ ප‍්‍රතිඥා ලබා දෙමින් නැවත දේශපාලයේ මුලකුරු කියවීමේ උත්සාහයක නිරතව සිටීම කිසිදු රටක සිදු නොවන්නක් බවද ඔහු කියා සිටියේය. උපාසකයින් ලෙස පෙනී සිටිමින් වෛරය හා ක්‍රෝධය පිරිමසා ගැනීම ඔවුන්ගේ අභීලාශය වී ඇතැයිද ඔහු පැවසීය. සියල්ල විවේචනය කරමින් සිටින මෙම කල්ලිය රටේ ජනතාවගෙන් ද පලි ගනිමින් සිටින බවටද ඔහු චෝදනා කළේය. රටේ සාරය උරා බොමින් අනාගත පරපුරට ලැබීමට තිබූ බොහෝ දේ අහිමි කළ මේ පුද්ගලයින් කිසිදාක රටට හිතැති කි‍්‍රයාමාර්ගයකට සහය ලබා නොදෙන බවද ඔවුන්ට නිසි පිළිතුරු ලබා දීම ජනතාවට පැවැරෙන වගකීමක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + one =