වංචා දූෂණ සිදුකරන සියලූ දෙනාට ඉහළම දඬුවම් ලබාදීමට පසුබිම සකස් කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වංචා දූෂණ සිදු කරමින් රාජ්‍ය දේපළ සහ වත්කම් විනාශ කරන සියලූ දෙනාට දේශපාලන පක්ෂ, තනතුරු හෝ තත්ත්වය නොසලකමින් ලබාදිය හැකි ඉහළම දඬුවම් ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (11) පස්වරුවේ පොළොන්නරුව දියසෙන්පුර ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන හමුව සංවිධානය කර තිබුණි.

මෙහිදී ජනතාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මහජන නියෝජිතයෙකුට වැරදි කිරීමට තමා ඉඩ නොතබන බවයි.

වැරදි කරන සියලූදෙනාට විනය කි‍්‍රයාමාර්ග ගනිමින් ලබාදිය හැකි ඉහළම දඬුවම් ලබදීමට පක්ෂ සභාපතිවරයා ලෙස නොපැකිළිව කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම සියලූදෙනා වංචාවෙන්, දුෂණයෙන් තොරව කටයුතු කරන ජනතාහිතකාමී අවංක මහජන නියෝජිතයින් පිරිසක් බවට පත්කරන බව ද කියා සිටියේය.

එමෙන්ම කියන දේ කියන ලෙස ඉටුකරමින් ජනතා යහපත උදෙසා ගතයුතු සියලූ තීන්දු තීරණ ගැනීමට ඉකුත් වසර 03 තුළ තමන් කටයුතු කළ බව පැවසූ ජනාධිපතිතුමා ගොවි ජනතාවගේ ප‍්‍රශ්න විසඳමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරදීමට පියවර රැසක් ගැනීමට හැකිවීම පිළිබඳව නිහතමනීව සතුටු වන බව ද කියා සිටියේය. 2012 වසරේ පළාත් සභා මැතිවරණය සමයේදී නියගයෙන් පීඩාවට පත් උතුරු මැද ජනතාවට කඩිනම් සහන සළසන බවට පැවති රජය පත්තර පිටු ගණන් දැන්වීම් පළ කළද මැතිවරණයෙන් පසු එම ජනතාව වෙනුවෙන් කිසිවක් ඉටු නොකළ අන්දම ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

ඉදිරි නියං තත්ත්වයන්ට මුහුණදෙමින් තම කෘෂිකාර්මික කටයුතු කළමනාකරණය කර ගැනීමට ගොවි ජනතාවට අවශ්‍ය මගපෙන්වීම ලබාදෙමින් යල මහ කන්නය පිළිබඳ නව වගා වැඩසටහනක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම ජල ගැල්මට ලක්වන සබරගමුව පළාතේ කෑගල්ල, රත්නපුර ප‍්‍රදේශවල සිට අසීමිතව මහමුහුදට ගලා යන ජලය උතුරට සහ උතුරු මැදට නළ මාර්ගයෙන් ගෙන යාමේ වැඩසටහනක් ද සකස් කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජන හමුවට එක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට එම ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

උතුරු මැද පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =