සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි රජය කටයුතු කරනවා – ඇමති කිරිඇල්ල

(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි යහපාලන රජය කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේවන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතී. වසර 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෙම මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා කියා සිටියේය. දකුණ මෙන්ම උතුරු පළාත් සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු රජයෙන් විශාල සහයෝගයක් හිමි වේ.

එසේම ඉන්දියානු රජය සහ ජපානය එකතු වී ත්‍රිකුණාමලය වරාය අවට කර්මාන්තශාලා ඇති කිරීමට ද නියමිත බව කිරිඇල්ල ඇමතිවරයා පැවසීය. මීට අමතරව ජපානයේ අධාර යටතේ මහනුවර ගලගෙදර ප්‍රදේශයේ නිදහස් වෙළෙදකලාපයක් ඇති කිරිමට ද බලාපොරොත්තු වේ.

අමාත්‍යවරයා මේ බව පවසන ලද්දේ ගනේමුල්ල ගුවන් පාලම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(11) එක් වෙමිනි.

ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මගින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ 2016 වසරේ අප්‍රේල් මාසයේ දී ය. මීටර් 300ක දිගින් යුතු පිවිසුම් මාර්ගයන් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග මීටර් 504කි. මංතීරු 02ක් සහිතව ඉදිකර ඇති මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 1,768.21ක් වැය වී ඇත.

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *