කොකේන් කිලෝ 928 විනාශ කිරීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මේ දක්වා කාලය තුළ මෙරට දී සොයා ගන්නා ලද විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමේ මූලික කටයුතු අද(15) උදෑසන ආරම්භ විය.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේය.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියේය.

කටුනායක ආයෝජන මණ්ඩල පරිශ්‍රයේ දී මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමේ මුලික කටයුතු සිදුකළ අතර එහිදී එම කොකේන් තොගය දියරයක් බවට පත් කරනු ලැබේ.

එලෙස දියරයක් බවට පත් කරනු ලබන කොකේන් මත්ද්‍රව්‍ය තොගය පසුව පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී විනාශ කිරිමට නියමිතය.

කිලෝග්‍රෑම් 928යි ග්‍රෑම් 229ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 1400ක් පමණ වන බව වාර්තා වේ.

ඉක්වදෝරයේ සිට බෙල්ජියම සහ ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ මුන්රා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත ඔවුන් මෙම වැටලීම සිදුකර තිබිණි.

2016 දෙසැම්බර් මස 09 වැනිදා කොළඹ වරාය තුළ දී රේගු නිලධාරීන් සමඟ එක්ව සිදුකළ වැටලීමකදී මෙම කොකේන් තොගය සොයා ගැනීමට හැකි වු බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය. මෙම කොකේන් තොගය තේක්ක දැව කදන් සහිත කන්ටේනරයක් තුළ ඉතා සූක්ෂම ආකාරයට සඟවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *