මත්පැන් අලෙවියට අදාළව පසුගියදා නිකුත් කර තිබූ චක‍්‍රලේඛය අවලංගු යි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මත්පැන් අලෙවි සැල් පෙ.ව 8.00 සිට රාති‍්‍ර 10.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙමින් හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම පිළිබඳ පනවා තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර ඇති චක‍්‍ර ලේඛය වහාම අවලංගු කිරීමට තමා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපතිතුමා පවසයි.

ඒ අනුව හෙට සිට එම චක‍්‍ර ලේඛය අවලංගු කෙරෙනු ඇති බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ,(14) පස්වරුවේ අගලවත්ත ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සාධාරණත්වයෙන් යුත් සදාචාරවත් සමාජයක් ගොඩනැගීමට තමන් කැපවී සිටින බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කැපවීම් රැසක් පසුගිය තෙවසර තුළ සිදුකළ බවද මෙහිදී කියා සිටියේය.

අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස සමග ඉතා පැහැදිලි පාලනයක් රට තුළ ඇතිවී තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම නිදහස භුක්තිවිඳීම මනුෂ්‍යත්වය තුළ සිදුවිය යුතු බවත් ඇතැම් අය එම නිදහස අහිමි කිරීමට අද මාර්ග සකසමින් සිටින බවත් කියා සිටියේය.

සාධාරණ සමාජයක් පිළිබඳ කතා කරනවා සේම සාධාරණ සමාජයක් ගොඩනැගීමට තමන් කැපවී සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා රිය අනතුරක් සම්බන්ධයෙන් තම සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තමන් පොලිසිය සමග එක් වචනයක්වත් කථා නොකළ බව පැවසූ අතර මෙරට ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුගේ, අගමැතිවරයෙකුගේ නොව ඇමතිවරයෙකුගේ ද සහෝදරයෙකු රිය අනතුරක් පිළිබඳ සිරභාරයට පත්වූවානම් ඒ තම සහෝදරයා පමණක් බවද කියා සිටියේය.
ජනතාව අපේක්ෂා කරන සාධාරණ සමාජය ගොඩනැගීමේදී තමා අනුගමනය කරන්නේ සියලුදෙනාට එක් ප‍්‍රතිපත්තියක් බව පැවසූ ජනාධිපතිතුමා වංචා දූෂණ පිටුදැකීමේදී ද පක්ෂ, පාට කිසිදු සබඳතාවයක් තමාට වැදගත් නොවන බව අවධාරණය කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් අගලවත්තේදී පැවැත්විණි.

ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ති‍්‍රක් නායක අමාත්‍ය මහින්ද සමරසිංහ, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අගලවත්ත ආසනයේ ප‍්‍රධාන සංවිධායක කේ.වී. රංජිත් සෝමවංශ, සුමිත්ලාල් මෙන්ඩිස්, යසපාල කෝරළගේ, පියසිලි විජේනායක යන මහත්වරුන් ඇතළු මහජන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *