ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට

(කොළඹ, ලංකාපුවත්) – තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය සිසුන් පිරිසක් සමත්ව ඇත.

2013 වසරේ දී චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai, Hong Kong, China ) කුන් යික් ශී ද්විතීයික පාසලේ සිසුන් විසින් තත්පර පහක් තුළ ජල රොකට් 1056ක් ගුවන්ගත කිරීමෙන් තැබූ ගිනස් වාර්තාව බිඳ හෙළමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් පසුගිය දා (10)එම වාර්තාව අලුත් කොට තිබේ.

මෙම ගිනස් වාර්තාවට අදාළ සහතිකය ඊයේ (15) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත පිළිගන්වනු ලැබීය. ඒ, අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති තෛපොන්ගල් දින සමරු උත්සවයෙන් අනතුරුවය.

විද්‍යාලයීය අජටාකාශ හා තාරකා විද්‍යා සංගමයේ 50 වැනි සංවත්සරය හා ලෝක විද්‍යා දිනය සැමරීමට සමගාමීව මෙම ජල රොකට් ගුවන්ගත කිරීම සිදුකොට ඇති අතර, ජල රොකට් ගුවන්ගත කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් ගිනස් වාර්තාවක් බිහි වන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

විද්‍යාවේ සහ තාක්ෂණයේ නව අත්හදාබැලීම් වෙත යොමුවෙමින්, ජයග්‍රහණ අත්පත් කරගන්නා නිර්මාණශීලී දරුවන් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ හඳුන්වාදීම් සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ක්‍රියාත්මක ව පවතින බවත් මේ සම්බන්ධ ව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *