ඩෙංගු පැතිරීම වැළැක්වීමට දින 03ක විශේෂ මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) –ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මේ මස 17, 18, 19 තෙදින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අවදානම් දිස්ත්‍රික්ක කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මඩකළපුව, කල්මුණේ දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් මේ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

වරින් වර ඇති වන වර්ෂාව හේතුවෙන් පවතින කාලගුණික තත්ත්වය අනුව ඩෙංගු රෝගය වැඩි වීමේ අවදානම වළක්වා ගැනීමේ අරමුණෙන් මේ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනු ඇත.

මේ වසරේ ආරම්භයේ සිට ගත වූ සති දෙක තුළදී රට පුරා ප්‍රදේශවලින් රෝගීන් 1300 ක් පමණ වාර්තා වූ බවත් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂය එම සංඛ්‍යාව විශාල අඩු වීමක් බවත් ඒ මහතා කියා සිටියේය.

ගත වූ සති දෙක තුළදී කොළඹින් 400 ක්, ගම්පහ 260 ක්, කුරුණෑගල 200 ක්, මහනුවර 200 ක්, මඩකලපුව 170 ක් ලෙස රෝගීන් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යනාදි අමාත්‍යාංශ එක්ව ඩෙංගු මර්දන කටයුතු සිදු කරන බවත් ඩෙංගු මර්දන අධීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම නිසා රෝගීන්ගේ වාර්තා වීම අඩු වී ඇති බවත් ඒ මහතා පැවසුවේය.

ඩෙංගු වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට වොල්බැචියා (Wolbachia) නමින් නව බැක්ටීරියාවක් මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට පසුගිය සතියේ අනුමැතිය ලැබුණු බව අමාත්‍යාංශය පැවසීය.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වාදී ඇති මේ බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව තිබේ.

මෙරට ප්‍රධාන මහජන ගැටලුවක් බවට පත්ව ඇති ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු විශේෂය වන ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ ශරීරය තුළට මේ බැක්ටීරියාව ඇතුළු කිරීමෙන් ඩෙංගු වෛරසය පාලනය කළ හැකිය.

කිසියම් පුද්ගලයකුට දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට වහාම යොමු විය යුතු අතර තමා ජීවත් වන අවට පරිසරයේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමට පියවර ගත යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *