ඩග්ලස් දේවනන්ද ඝාතන තැතට උදවු කළ තැනැත්තියට අත්හිටවු සිරදඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකාරියක් රැගෙන ගොස් ඊට ආධාර අනුබල දිමේ චෝදනා ලබා සිටි දෙදරු මවකට කොළඹ මහාධිකරණය විසින් වසර පහළවකට අත්හිටුවූ බරපතළ වැඩ සහිතව වසර දෙකක සිරදඬුවම් අද(16) නියම කළේය.

මෙසේ දඬුවම් නියම කෙරුණේ යාපනය ප්‍රදේශයේ පදිංචි සෙල්වකුමා ර් සත්‍යලීලා නැමැති කාන්තාවකටය.

ඩග්ලස් දේවානන්ද මහතා අමාත්‍යවරයෙකුව සිටියදි 2004 වසරේදී කොල්ලුපිටියේ අමාත්‍යාංශය පැමිණ මාරාගෙන මැරෙන බොම්බකාරයක් විසින් බොම්බ පුපුරුවා ගනු ලැබීය. බෝම්බකාරිය ජයරාණී නැමැත්තියක් වේ.

ඒ අනුව මරාගෙන මැරෙන බෝම්බකාරියක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ගේ කාර්යාලය වෙත රැගෙන ගොස් ඔහු මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා හයක් යටතේ නීතිපතිවරයා මෙම විත්තිකාරිය එරෙහිව නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තින්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විවෘත අධිකරණයේ කියා සිටියේ මෙම විත්තිකාරිය ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර ඇති චෝදනා හයෙන් 5කට ඇය නිවැරදි කාරිය බවයි. ඒ අනුව එම චෝදනාවලින් විත්තිකාරිය නිදොස්කොට නිදහස් කරන බවද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත.

එහෙත් මරාගෙන මැරෙන බෝම්බකාරියට ආධාර අනුබල දීමේ චෝදනා වලට ඇය වරදකාරිය කරන බවද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2004 වසරේ අත්අඩංගුවට පත් මෙම විත්තිකාරිය මේ වන විට වසර දාහතරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බව කියා සිටියේය.
මෙම වරදට නියම කළ හැකි උපරිම දඬුවම වසර හතක් පමණක් බව සඳහන් කළ විත්තියේ නීතිඥවරයා විත්තිකාරිය දෙදරු මවක් බැවින් ඇයට යළි සමාජගත වීමට හැකිවන ආකාරයට ලිහිල් දඬුවමක් නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා කියා සිටියේ කොටි සංවිධානයේ බලපෑම හේතුවෙන් විත්තිකාරිය මෙම වරද සිදුකිරීමට පෙළඹී ඇති බව සාක්ෂිවලින් අනාවරණය වන බවයි.

ඒ අනුව ඇයට වසර පහළොවකට අත්හිටවූ මාස 24 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් විසිපන්දාහ ක දඩයක්ද නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *