ඇස් නොපෙ‍ණුනත් මට කියන දේ ඇහෙනවා. මේ ක්‍රීඩාව ගොඩ ගන්න නම් අපි එක් විය යුතුයි – යෝගානන්ද

(කොළඹ, ලංකාපුවත්) – “එක් අවස්ථාවක සියලු ක්‍රීඩා සඳහා ඉහළ උන්නතාංශ පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ හදන්නැයි මම යෝජනා කළා. මේවා කිව්වාම හුඟ දෙනෙක් මට හිනා වුණා. හැබැයි අද ආපහු හැරිලා බැලපුවාම ඒ හිනාවෙලා තියෙන්නේ මට නෙමෙයි. ඒ හිනාවෙලා තියෙන්නේ ඒ අය ඒ අයටමයි” යැයි හිටපු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ යෝගානන්ද විජේසුන්දර හරසර අබිමින් සේව් ද ස්පෝර්ස්ට් ප්‍රණාම ‍උළෙ‍ල අමතමිනි.

වසර 50ක් සිය සන්තකයේ ඇති සියලුම දෙය ක්‍රීඩාවේ උන්නතිය උදෙසා නිර්ලෝභීය වැය කළ ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණකරු යෝගානන්ද විජේසුන්දර මහතා කළ සේවාව ඇගයීම පිණිස හරසර අබිමන් සේව් ද ස්පෝර්ට්ස් ප්‍රණාම උළෙල අද (17) පැවැත්වුණේ ‍කොළඹ 07 ‍ටොරින්ටන්හි පිහිටි ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණගාර‍යේදීය.

ඒ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා නිලධාරීන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙනි.

ප්‍රමණාම උලෙළේදී යෝගානන්ද වි‍ජේසුන්දර මහතා වෙත මුදල් තිළිණය පිරිනැමුවේ මැක්ලරන්ස් ආයතනයේ සම කළමනාකරණ අධ්‍යක්ෂ ෂෙහාරා ජයවර්ධන මහත්මිය‍ විසිනි. සේව් ද ස්පෝර්ට්ස් සමරු කුසලානය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් පිරිනැමිණ.

උළෙල අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ යෝගානන්ද විජේසුන්දර මහතා තමන්ට මෙන්ම බොහෝ අයට පරමාදර්ශී චරිතයක් වූ බවයි. එහෙත් මෙවැනි විශිෂ්ටයින් ඇගයීම අද සිදුවන්නේ කලාතුරකින් බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය.

උළෙල අමතමින් යෝගානන්ද විජේසුන්දර මහතා කියා සිටියේ ක්‍රීඩාවෙන් ජීවත් වන අය ක්‍රීඩාවෙන් ඉවත් නොකරන තාක්කල් ක්‍රීඩාව දියුණු කළ නොහැකි බවයි.

“ලංකාවේ ක්‍රීඩාවෙන් ජීවත්වන සහ ක්‍රීඩාව ජීවත් කරවන කණ්ඩායම් දෙකක් ඉන්නවා. මේ ක්‍රීඩාවෙන් ජීවත් වන කණ්ඩායම හරි බිහිසුණුයි. ඔවුන්ට අණක් ගුණක් නැහැ. ඉන්නේ මේ ඔලිම්පික් දිනුව කෙනෙක්ද නැත්නම් ආසියාව දිනුව කෙනෙක්ද ඒ කිසිම කථාවක් ඒ ගොල්ලන්ට නැහැ. ඒ ගොල්ලන්ට යම්කිසි ගාණක් ලැබෙනවා නම් ක්‍රීඩාව විකුණලා හරි ඒ සල්ලිටික හොයා ගන්නවා. මේක නෙමෙයි ක්‍රීඩා පරිපාලනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි දැන්වත් මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න අත්‍යවශ්‍යයි. අපි එකට එකතුවෙන්න දන්නවා. නමුත් එකට එකතු වී වැඩ කිරීමේ කලාව අපි දන්නේ නැහැ. හොදට මතක තියා ගන්න, එකට එකතුවීම සහ එකට එකතු වී වැඩ කිරීමේ කලාව කියන්නේ එකක් නෙමෙයි දෙකක්. අපිට ක්‍රීඩා ක්ෂේත්‍රයේ කරන්න බැරි දෙයක් නැහැ. කවුද හිතුවේ පැයට කිලෝමීටර් 30කට වඩා වේගයෙන් මිනිස්සු දුවයි කියලා. අද ඔය දුවන්නේ. මුකුත් වෙන්නේ නැහැ. කවුද හිතුවේ අඩි තිහක් ඈතට මිනිස්සුන්ට පනින්න පුළුවන් කියලා. අද ඔය පනින්නේ. ඒ වගේම අඩි හතකට වැඩිය උස පනින්නේ. කිසි ගැටළුවක් නැහැ. මිනිස්සුන්ට මේවා කරන්න පුළුවන්. අවශ්‍ය වන්නේ දැනුම සහ ඒ දැනුම ඉදිරිපත් කරන සන්නිවේදන ක්‍රමය. මේ දෙකෙම අද ගැළපීමක් නැතිවයි අපේ රටේ තියෙන්නේ………” යැයිද යෝගානන්ද විජේසුන්දර මහතා පැවසීය. තමන්ට පසුගිය වසර සිත් පීඩා ගෙන දෙන වසරක් වූ බවද ඔහු කියා සිටියේය. “දැන් මගේ ඇස් පෙනීම බොහෝම අඩුයි. නමුත් මම ඒ ගැන කණගාටු වෙන්නේ නැහැ. ඒ තමයි මට ලැබෙන දෙය. නමුත් මට හොඳට ඇහෙනවා. ඇහෙන දේවල් දිහා බැලපුවාම ක්‍රීඩාවට මොනවද වෙන්නේ කියන එක ගැන මට ලොකු ගැටළුවක් තියෙනවා. ක්‍රීඩාව හදන්න නම් අපි එකට එක් විය යුතුයි…” යැයිද යෝගානන්ද විජේසුන්ද මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 17 =