මෙම වසරේදී සීග‍්‍රගාමී බස් ක්‍රියාවලියක්

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේදී සීග‍්‍රගාමී බස් ක්‍රියාවලිය සඳහා පියවර තැබීමට කටයුතු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේම සැහැල්ලු දුම්රිය පද්ධති හඳුන්වාදීම පිළිබඳ වැඩකටයුතු කිරීම මේ වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ම 2023 වන විට අවසන් කර ඒ පිළිබඳ අලුත් අත්දැකීමක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා සදහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනි.

ඔහු කියා සිටියේ රටේ වර්තමානයේ ඇති වී තිබෙන මාර්ග තදබදයේ ගැටළුව විසඳා ගැනීමට අනිවාර්යෙන්ම හැකියාව ඇත්තේ බස්රිය සහ දුම්රිය පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් පමණක් බවත් එය වෙනත් මාර්ගවලින් පාලනය කළ හැකි තත්වයකට පැමිණ නොමැති බවත්ය.

එබැවින් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමේ පියවර දෙසට අප පියනගමින් පවතින බවත් ඉදිරි කාලයේදී විශේෂයෙන්ම මගී ප‍්‍රවාහන සේවයේ නවීකරණයක් මෙන් ම පුද්ගලික, ලංගම සහ දුම්රිය සේවය නවීකරණයක් ද අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

බොරැල්ල සිට පිටකොටුව දෙසට තිබෙන මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වා දුන් බවත් මෙය එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් යැයි පෙන්වාදෙන අමාත්‍යවරයා මෙමගින් විශේෂයෙන්ම උදේවරුවේ ඇති වී තිබෙන මාර්ග තදබදයට විසඳුමක් ඇතිකර ගැනීම බලාපොරොත්තු වන බවත් පෙන්වාදුනි.

එමෙන් ම පාර්ලිමේන්තු මංසන්දියේ සිට ආයුර්වේද මංසන්දියට තිබූ බස් ප‍්‍රමුඛතා මංතීරුව රාජගිරිය පාලම නිසා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවත් පාලමේ යටකොටසේ ඇති සංවර්ධන කටයුතු නිම වූ වහාම, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා අවසර ලබාදුන් වහාම එය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *