ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් රුසියාවේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට පැමිණ සිටින රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ (Russian State Corporation ROSATOM) නියෝජිත පිරිස අද (17) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

එම සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Nikolay Spasskiy මහතා ඇතුථ නියෝජිතයින් පස් දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විත විය.

ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම සහ බලශක්ති, කර්මාන්ත හා කෘෂිකර්ම ආදී ක්ෂේත්‍ර ගණනාවක් තුළ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ.

විදුලිබල, උසස් අධ්‍යාපන සහ තාක්ෂණ හා පර්යේෂණ යන අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඒ සදහා දිගුකාලීන හා කෙටි කාලීන වැඩසටහන් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රීක සබදතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රුසියාව ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන මිත්‍රශීලි සහය ද ඇගයීමට ලක් කළේය.

විශේෂයෙන් පසුගියදා තේ අපනයනයේදී මතු වු ගැටලූව ඉතා කඩිනමින් නිරාකරණය කරදෙමින් ශ්‍රී ලංකාවත්, ජනතාවත් වෙනුවෙන් දැක්වූ හෘදයාංගම සහයෝගය පිළිබද රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *