මධ්‍යම අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවට අලූත් ආර්ථිකයක් එක් කරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවට අලූත් ආර්ථිකයක් ඇති කරන තවත් එක් මාර්ගයක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගුවන් තොටුපොළ දෙකක්, වරායන් දෙකක්, වෙළෙඳ කලාප, සංචාරක කලාප හා ප්‍රධාන නගර එකට යා කරමින් ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවට අලූත් ආර්ථිකයක් ඇති කරන තවත් එක් මාර්ගයක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්‍ෂණයට එක්වෙමින් පැවසීය.

මහවැලි ව්‍යාපාරය හරහා කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කළා සේම මධ්‍යම අධිවේගී මාර්ගය හරහා රටේ සංචාරක සහ වානිජ ක්ෂේත්‍රයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන බවත්, එය රටේ දියුණුවට විශාල රුකුලක් වනු ඇති බවත් හෙතෙම කීය.

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල-ගැට්ටුවාන සහ මීරිගම-ගල්දෙනිය යන ප්‍රදේශවලට ඊයේ සවස ගිය රනිල් වික්‍රමසිංහ මහතා එහි කටයුතු නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මෙම ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවට අලූත් ආර්ථිකයක් ඇති කර දෙන මාර්ගයක් ලෙස හැදින්විය හැකියි. ඒ හරහා මෙම ප්‍රදේශයටත්, සමස්ත රටටත් විශාල දියුණුවක් ලැබෙනවා. මෙම මධ්‍යම අධිවේගී මාර්ගය හරහා මහනුවරට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි වෙනවා. එමෙන්ම නුවර සිට කඩවතටත්, කඩවත, කොළඹහරහා හම්බන්තොට දක්වා ඇති වන මාර්ගයත් හේතුවෙන් එම කලාපයේ විශාල දියුණුවක් ඇති කර ගත හැකියි. ඒ හරහා සංචාරක ෙක්‍ෂ්ත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය විශාල යටිතල පහසුකම් දියුණුවීමක් ද මෙම ප්‍රදේශවල ඇති වෙනවා.

මහවැලි ව්‍යාපාරය හරහා කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කළා සේම මෙම මධ්‍යම අධිවේගී මාර්ගය හරහා රටේ සංචාරක සහ වානිජ ක්ෂේත්‍රයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සිදුවෙනවා. කොළඹ සිට නුවරට පැමිණෙන මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමත්, මහනුවර නගරය නව සැලසුමක් යටතේ ඉදිකිරීමත් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. බෝගම්බර සංස්කෘතික, සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. එමෙන්ම මහනුවර ප්‍රදේශයේ නව වෙළෙඳ කලාපයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් සොයාගැනීමත් මේ දිනවල සිදු කෙරෙනවා. මාවතගම ප්‍රදේශයේ තවත් නව වෙළෙඳ කලාපයක් ඉදිරි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් සොයාගැනීම අප මේ වනවිට අවසන් කර තිබෙනවා. ඉංගිරිය, ඉරණවිල ප්‍රදේශවල වෙළෙඳ කලාපයක් සහ සංචාරක කලාපයක් සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීම මේ වන විට සිදු කර අවසන්.

මධ්‍යම අධිවේගී මාර්ගය හරහා මහනුවර සිට වයඹදක්වා එවැනි විශාල දියුණුවක් ඇති වෙනවා. එමෙන්ම මෙම මධ්‍යම අධිවේගී මාර්ගය හරහා කඩවත ඇතුළු බස්නාහිර පළාත තුළත් විශාල දියුණුවක් ඉදිරියේදී ඇතිවීමට නියමිතයි. අනෙක් පසින් හම්බන්තොට ප්‍රදේශයේත් මෙවැනි විශාල දියුණුවක් ඇති කිරීමට අප කටයුතු කරනවා. 2015 වසරේදී යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමෙන් පසුව අප මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ නව සංචාරක කලාප ඇති කරමින් කළුතර නව වෙළෙඳ කලාප ඇති කරමින් කොළඹ මහා නගර සංවර්ධන සැලැස්ම ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු අවසන් කළ විට ශ්‍රී ලංකාවට අලූත් ආර්ථිකයක් බිහිවෙනවා. මෙම සංවර්ධන වැඩසටහන ත්‍රීකුණාමලය දක්වා ව්‍යාප්ත කිරීම අපේ රජයේ බලාපොරොත්තුවයි.

මෙය කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන තුන්වැනි මාර්ගයයි. සිංහල රජ කාලයේදී කොළඹ සිට රුවන්වැල්ල, බලන හරහා නුවරට ළඟා වුණා. වර්තමානයේ අප භාවිත කරන්නේ සුදු ජාතිකයන් ඉදිකළ මාර්ගයයි. දැන් මෙහි අධිවේගී මාර්ගයක් ලෙස ඉදිවන්නේ ශ්‍රී ලාංකිකයන් වන අප නුවර බලා ගමන් කිරීමට ඉදිකරන නව මාර්ගයයි. මෙම මාර්ගය කොළඹින් අවසන් වන්නේ නැහැ. අප ආණ්ඩුවක් ලෙස සැලසුම් සකස් කළේ මෙම මාර්ගය හම්බන්තොට දක්වාම ඉදිකරමින් හම්බන්තොට අවට සංවර්ධන සැලසුම් සකස් කරමින් එම ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමටයි. ගුවන් තොටුපොළ දෙකක්, වරායන් දෙකක්, වෙළෙඳ කලාප, සංචාරක කලාප සහ ලංකාවේ ප්‍රධාන නගර එකට යා කරන මෙම නව අධිවේගී මාර්ගය හේතුවෙන් අපේ රටට විශාල දියුණුවක් ළඟා කර ගත හැකි වෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් වීමට මෙම නව මධ්‍යම අධිවේගී මාර්ගය විශාල සාධකයක් බවට පත් වෙනවා. මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් රට තුළ බොහෝ කතා-බහ ඇති වුණා. කෙසේ වුවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ආණ්ඩුව 2015 වසරේ ජුනි, ජූලි මාසයන්වල මෙහි වැඩකටයුතු ආරම්භ කළා. අද මම මෙහි පැමිණියේ එම මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීමටයි.

මෙම දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු භාර ගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකික සමාගම් බව විශේෂයෙන් පැවසිය යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අදිවේගී මාර්ගයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත් කටයුතු ශ්‍රී ලාංකික දේශීය සමාගම් වෙත භාරදීමට අපට හැකි වුණා. මෙතෙක් කල් මෙවැනි විශාල ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකාව තුළ සිදු වුණේ චීනය හෝ  ජපානය වැනි රටවල විශාල සමාගම් යටතේයි. නමුත් මෙහිදී මෙම සමාගම් 16 එකතු වී කණ්ඩායම් 4 කට බෙදී මෙම ඉදිකිරීම් කටයුතු භාරගෙන තිබෙනවා. එම නිසා විදේශ රටක ඉදිකිරීම් කටයුත්තක් භාර ගැනීමට අවශ්‍ය හැකියාව මෙම ශ්‍රී ලාංකික සමාගම් සතු බවට අපට සහතිකයක් දිය හැකියි. ඉදිකිරීම් අංශයෙන් ඉදිරියේදී අපේ රටට විදේශ විනිමය ගෙන ඒමට මෙම සමාගම්වලට ඉදිරියේදී හැකිවෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මෙම නව අධිවේගී මාර්ගය ඉදිකිරීම හරහා පැය එකහමාරකින් පමණ මහනුවර සිට කොළඹට ළඟා විය හැකියි. තවත් සුළු කාලයක් තුළ කොළඹ සිට හම්බන්තොට දක්වාත් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා.  එදා ණය බරින් යටවී තිබූ අපේ රටේ ආර්ථිකය නඟාසිටුවමින් යටිතල පහසුකම් දියුණු කරමින් විශ්වාසයකින් යුතුව අනාගතය දෙස බැලීමට අපට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

මෙම අවස්ථාවන්ට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය පාර්ලිමේන්තුවේ සභනායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්වරුන් ප්‍රමුඛ පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *