බැදුම්කර වංචාවට අදාල ඉදිරි කි‍්‍රයාමාරග වෙත අවතීර්ණ විය යුතුයි – ඇමති රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරයාට චෝදනා එල්ලකිරීමෙන් වැලකී සිටිමට එක්සත් ජාතික පක්‍ෂයේ සියලු නියෝජිතයින් 17වැනිදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පොරොන්දුවක් ලබා දුන් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ පක්‍ෂයේ සියළු නියෝජිතයින් වෙත අවවාද ලබා දුන් බවත් ඔහු කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

කෙසේ වෙතත් සුසිල් ප්‍රේමජයන්ත් හා ඩිලාන් පෙරේරා වැනි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයින් දිගින් දිගටම අග‍්‍රාමාත්‍යවරයා විවේචනය කරමින් අදහස් දැක්වීම තුළ ගැටළුකාරී තත්ත්වයක් ඇති වූ බවත් ඊට ප‍්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතික පක්‍ෂයටද සිදු වූ බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මෙතැන් සිට ජනාධිපතිවරයා විවේචනය නොකර සිටීමට එක්සත් ජාතික පක්‍ෂය පියවර ගන්නා සේම අගමැතිවරයා විවේචනය නොකර සිටීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයින්ද පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය. මෙම තත්ත්වය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයින්ගේ හැසිරීම තුළ ඇති වුවක් බවද කියා සිටි රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ආරම්භය හා අවසානය කොතැනක වුවද මෙම වාග් ප‍්‍රහාර එල්ල කර ගැනීම මෙතැන් සිට නවතා දමා යහපාලන ප‍්‍රතිපත්ති ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට සියළු දෙනා අත්වැල් බැද ගත යුතු යැයිද පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන්ගේ විමසීම්වලට පිළීතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

බැදුම්කර වාර්තාවට අනුව කිසියම් වරදක් සිදුව ඇත්නම් ඊට අදාල කි‍්‍රයාමාර්ග ගත යුතු බව අගමැතිවරයාගේත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේත්, එක්සත් ජාතික පක්‍ෂයේත් ස්ථාවරයයි. ඊට අදාල නීතිමය කටයුතු සිදු කරන ලෙස අදාල අංශ වෙත දැනුම් දුන්නේත් අගමැතිවරයාමයි. මෙහිදී කිසිවෙකු හෝ වීරයින් ලෙස ඉලිප්පීමේ වුවමනාවක් නෑ.

බැදුම්කර සිද්ධිය ගැන වැඩිපුරම කතා කළේ ඒකාබද්ධ විපක්‍ෂයයි. එහෙත් බරපතල වංචා සේවීමේ කොමිෂමෙන් වැඩිපුරම චෝදනා එල්ල වී තිබෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ උදවියටයි. දැන් බැදුම්කරයට මුවාවී චෝදනා වසන් කර ගැනීමටයි ඒකබද්ධ විපක්‍ෂය උත්සාහ කරන්නේ. ජනපති කොමිෂමේ වාර්තාවට අනුව සිදුව ඇති අලාභය රුපියල් බිලියන 11 යි. එහෙත් පර්පචුවෙන් සමාගමට අයත් රුපියල් බිලියන 12 ක් මහා භාණ්ඩාගාරය තුළ රදවා තබා ගන්නට රජය පියවර ගෙන තිබෙනවා. එබැවින් යම් අලාභයක් සිදුව ඇත්නම් එම මුදල් පියවා ගැනීමේ අවකාශය උදා වෙලා තිබෙනවා.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ සමයේ සිදුව ඇති වංචා හා දූෂණ වලින් මෙන්ම එම කාලයේ සිදුව ඇති බව කියන බැදුම්කර වංචාවලින් රට අහිමි වී ඇති මුදල් රුපියල් බිලියන ගණනක්. එම මුදල් පියවා ගන්නට කිසිදු හැකියාවක් මාර්ගයක් නෑ. මෑත කාලයේ සිදුව ඇති දේ පිළිබඳ මෙන්ම මේ ගැනත් පුළුල්ව කතා කළ යුතුයි.

ජනාධිපතිවරයා සතුව සගවා තැබීමට කිසිදු තොරතුරක් නැහැ. දූෂණ වංචාවලින් තොර රටක් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණයි. ඒ වෙනුවෙන් අපි සහයෝගය ලබා දිය යුතුයි. එමෙන්ම දූෂණයට එරෙහි වැඩපිළවෙල යටතේ කලබලයට පත්ව සිටින්නේ දූෂීතයින්.

රජය ඉතා නිවරදි ගමනක නිරතව සිටින බවද පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ රංඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ… ගීතයට සමාන ලෙසින් වත්මන් රජයේ වැඩපිළිවෙලද සහයෝගීව ඉදිරියට කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =