හොරුන්ට දඬුවම් ලබාදීමට අප‍්‍රමාදව කටයුතු කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සහ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කටයුතු එකලෙස කි‍්‍රයාත්මක කරමින් හොරුන්ට දඬුවම් ලබාදීමට සහ සොරාගත් ජනතා මුදල් ආපසු අය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

ඒ සඳහා අවශ්‍ය ඉදිරි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමේ වැඩපිළිවෙළ තමන් අද ආරම්භ කළ බව පැවසූ ජනාධිපතිතුමා ජනතාවට දුන් ප‍්‍රතිඥාව අනුව එහි කටයුතු නිරන්තර අධීක්ෂණයට ලක් කරමින් ජනතාවට සාධාරණය ඉටුකිරීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(17) පස්වරුවේ ඇල්පිටිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

පසුගිය කාලය තුළ සිදුවූ ලොකුම මංකොල්ලය වන මහ බැංකු මංකොල්ලය පිළිබඳ සෙවීමට තමන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ කටයුතු ඉතා අපක්ෂපාතීව, ස්වාධීනව සහ අවංකව මෙන්ම අධිකරණයේ සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සිදුවූ බව පැවසු ජනාධිපතිතුමා දේශපාලන විරුද්ධවාදින් එදා කුමක් පැවසුත් එම කොමිසම මේ රටේ මෙතෙක් පත්කළ කොමිෂන් අතරින් ඉතා පවිත‍්‍රතාවයෙන් මෙන්ම සාර්ථකව කි‍්‍රයාත්මක වූ එකම කොමිසම බව ද කියා සිටියේය.

එමෙන්ම මෙම කොමිසමේ ඉදිරි කටයුතු සඳහා අලුත් පනත් 03 ක් සම්පාදනය කිරීමට පියවරගෙන තිබෙන අතර නැවත මහ බැංකුවේ මෙවැනි දූෂණ වංචා සිදුනොවීමට වගබලා ගැනීමට අවශ්‍ය නව නීති සම්පාදනය, සොරගත් ජනතා මුදල් කඩිනමින් ආපසු ලබාගැනීමට අවශ්‍ය පනතක් සකස් කිරීම, ඉදිරියේදී මහ බැංකුව තුළ මෙවැනි දූෂණ සිදුනොවන අයුරින් ආයතන සකස් කිරීමට අදාළ නීති රීති සමග අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම යටතේ නැවත විමර්ශනයක් නොමැතිව මෙම වාර්තාවේ ඇතුළත් කරුණු පදනම් කරගනිමින් අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන පනත සංශෝධනය කිරීම යන කරුණු ඊට ඇතුළත් බව ජනාධිපතිතුමා පැවසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන පනත සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව පවතින බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද තමන් එහි සාමාජිකයින්ට විශේෂ දේශනයක් ලබාදුන් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මහජනයාගේ මුදල් සොරකම් කිරීම, රාජ්‍ය දේපළ අවභාවිතය සහ මිනිසුන්ට හිරිහැර කිරීම මෙන්ම දේශයට විරුද්ධ වීමේ පාපකර්මයන්හි ප‍්‍රතිවිපාක පෙන්වාදෙමින් අකුසල් නොකර ඉදිරියට යාමේ අවශ්‍යතාවය එහිදී අවධාරණය කළ බව පැවසූ ජනාධිපතිතුමා මෙම 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය තුළින් ද සියලු දෙනාගෙන් අපේක්ෂා කරන්නේ එවන් පිරිසිදු පාලනයක් බව කියා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් මෙලෙස ඇල්පිටිය පොදු වෙළෙඳ සංකීර්ණය අසල දී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම, මනුෂ නානායක්කාර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද මෙම ජනහමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − six =