සාමකාමී පරිසරයක් තුළ ශ‍්‍රී ලංකාව විශාල සංවර්ධනයක් අත්කර ගෙන ඇත – පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී

(කොළඹ, ලංකාපුවත්) – මේ වනවිට ඉතාමත් සාමකාමී වටපිටාවක් ඇති ශ‍්‍රී ලංකාව විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බව පෙනෙන්නට ඇති බව පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා මහතා (General Qamar Javed Bajwa) පැවසීය.

ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර සිටියේය.

ලොව අන් රටවල් පාකිස්ථානයෙන් දුරස් වෙමින් සිටි අවස්ථාවකදී, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ කළ ඓතිහාසික සංචාරය සිහිපත් කළ ජෙනරාල් කමාර් ජාවේඩ් බජ්වා මහතා, ශ‍්‍රී ලංකාව පාකිස්ථානයේ සැබෑ මිතුරකු වන බව ද සඳහන් කළේ ය.

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඇති දීර්ඝ කාලින සම්බන්ධතාව මෙහිදි සිහිපත් කළ ජනාධිපතිතුමා, විශේෂයෙන් පසුගිය යුද සමයේදී ශ‍්‍රී ලංකා හමුදාවට පුහුණුවීම් ආදියෙන් විශාල සහයෝගයක් ලබාදීම සම්බන්ධයෙන් පාකිස්ථානු රජයට තම ස්තූතිය පළ කළේය.

එසේම ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ හදිසි ආපදාවලදී පාකිස්ථානයෙන් ලැබුණු පරිත්‍යාගශීලී සහය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා, දෙරට අතර සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීමට ශක්තියක් සැපයීම පිළිබඳව ද තම ප‍්‍රසාදය පළ කළේය. තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී පාකිස්ථානය ශ‍්‍රි ලංකාවට ලබාදුන් සහයෝගය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයිමට ලක්විය.

පාකිස්ථානයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කළ පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, පාකිස්ථානය තුළ සාමය තහවුරු කිරීමට දැඩි පරිශ‍්‍රමයක් දරන බවත්, නුදුරේදීම එහි යහපත් ප‍්‍රතිඵලයක් දැක ගැනීමට හැකිවනු ඇති බවත්, කියා සිටියේය.

ශ‍්‍රී ලංකාවේ හමුදාවේ වෘත්තීයභාවය ඉතාමත් අගය කළ පාකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් කමාර් ජාවේඩ් බජ්වා මහතා ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප‍්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බවට ද ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළේ ය.

ඉතා සුහද අන්දමින් පැවති මේ සාකච්ඡාවට, ශ‍්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ශ‍්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහ්මඩ් හෂ්මට් (Dr. Shahid Ahmad Hashmat) මහතා ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *