ඌව පළාත් මහ ඇමති ගැන පරීක්ෂණයක් – ජනපති පොලිස්පතිට උපදෙස් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් බදුල්ල දිස්ති‍්‍රක්කයේ විදුහලක විදුහල්පතිනියකට හිංසා කළ බවට සදහන් කෙරෙන තොරතුරු සහ පොලීසියට කර ඇති පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම මෙම පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු ඌව පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත්කරගන්නා ලෙස ද ජනාධිපතිතුමා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳ සිදුකෙරෙන අපක්ෂපාතී පරික්ෂණ වාර්තාවේ සදහන් කෙරෙන ඕනෑම නීතිමය කි‍්‍රයාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.

පරීක්ෂණය ස්වාධීනව හා අපක්ෂපාතීව පැවැත්වීමට අමාත්‍යධූරයෙන් ඉවත් වෙනවා – ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය

විදුහල්පතිනිය සම්බන්ධ සිදුවීම පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා තමන් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉවත් වන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද(21) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ ක්‍රියාකලාපයට හේතුවෙන් තම කීර්තිනාමයට බලවත් හානියක් සිදුවෙමින් පවතී.මේ පිළිබඳව ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එම පරීක්ෂණය ස්වාධීනව හා අපක්ෂපාතීව
පැවැත්වීමට හැකිවන පරිදි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දී ඇතැයි ද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *