කතරගම කලහකාරී ලෙස හැසිරුනු 60 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් වෙඩි ප්‍රහාරයකින් තරුණයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය ඉදිරිපිට කලහකාරී ලෙස විරෝධතාවයේ නිරතවූ 60 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන  තිබේ.

පොලිසිය සදහන් කලේ සිද්ධියට අදාලව කාන්තාවන් 15 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 63 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි. මහජන දේපල වලට හානි සිදුකිරීම,කලහකාරී ලෙස හැසිරීම,අයුතු ජන රාශිය යන චෝදනා සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අැත.

ඊයේ (20) රාත්‍රියේ සිය සේවා මුරය නිමකොට කතරගම ප්‍රාදේශීය සභාවේ සේවකයෙක් සිය යතුරුපැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියා.ඒ අවස්ථාවෙිදි රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් මොහුට යතුරුපැදිය නතර කරන ලෙසට අණ කලත් මෙම පුද්ගලයා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කොට  තිබේ.

මෙලෙස අණ නොතකා යතුරු පැදිය ධාවනය කිරීම නිසා පොලිස් කොස්තාපල්වරයා එම පුද්ගලයාට වෙඩි ප්‍රහාර එල්ල කොට ඇති අතර එහිදි 25 හැවිරිදි යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්විය.මෙම සිද්ධියත් සමග අද (21)අළුයම සිට කතරගම තිස්සමහාරාම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරුනි.එහිදි එම පිරිස පලවා හැර තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කලා.පසුව අද දහවල් යලිත් කතරගම පොලිසිය ඉදිරිපිට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මාර්ගය අවහිර කරමින් පොලිසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුනා.යලිත් එම තත්ත්වය පාලනය කිරීම සදහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුවිය.

මේ සදහා පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්,පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 500කට වැඩි පිරිසක් සහභාගි වී සිටියා.මේ අතර මෙම සිද්ධිය පිළිබදව පරික්ෂණ පැවැත්වීම සදහා පොලිස්පතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් කතරගම ප්‍රදේශයට යැවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේය.

එසේම මෙලස ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරුනු ස්ථානවල හා සිද්ධිය වූ ස්ථානය අවට ස්ථානවල CCTV දර්ශන පරික්ෂා කිරීමටද කටයුතු කරන බවයි පොලිසිය සදහන් කලේය.

අද පස්වරුවේද කතරගම පොලිසිය ඉදිරිපිට නැවතත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනීමත් සමග යලිත් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට ඔවුන් විසුරුවා හැර තිබෙනවා.මේ අතර මෙම සිද්ධියේදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් 63 දෙනාට අමතරව යතුරුපැදි 36ක්,පා පැදි 8ක් සහ ත්‍රිරෝද රථ 8ක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා වාහන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *