රතු භූමිතෙල් අලෙවිය තහනම්

(කොළඹ, ලංකාපුවත්) –ලංකා භූමිතෙල් රථවාහනවලට, කර්මාන්ත ශාලාවලට, බවුසර්වලට හා තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගේ අත්සනින් යුතුව සියලූම සිපෙට්කෝ බෙදුම්කරුවන් වෙත අංක 987 යටතේ චක්‍රලේඛයක් නිකුත් කළ බව ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් වර්ග දෙකක් වෙළෙඳ පොළේ විකිණීමට ඇත.

මෙයින් ලංකා භූමිතෙල් සාමාන්‍ය පරිභෝජනය සඳහා රජයේ සහනාධාරය යටතේ අඩු ආදායම්ලාභී ජනතාවට සහ ධීවර ප්‍රජාව ඉලක්ක කර අලෙවි කරන භූමිතෙල් වන අතර මෙය රතු පැහැයෙන් යුක්තය.

කෙසේ වෙතත් 2017 වර්ෂයේ පසුගිය මාසවල ලංකා භූමිතෙල් අලෙවිය හා සංසන්දනය කරන විට මෙරට ලංකා භූමිතෙල් පරිභෝජනය අධික වී ඇතැයි අනාවරණය වී ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැම් පිරවුම් පොළවල බෙඳුම්කරුවන් අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ලංකා භුමිතෙල් වැඩි වශයෙන් ව්‍යාපාරික හා කර්මාන්ත ශාලාවලට නිකුත් කිරීමට පෙළඹීමත් බස්රථවලට හා බවුසර් වලට භූමිතෙල් යෙදීම මෙන්ම ඩිසල්වලට භූමිතෙල් කලවම් කර විකිණීමක් නිසායි.

එහෙත් එවැනි ක්‍රියා නීතිවිරෝධී බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

එවැනි වරදක් සිදු කරනු ලබන බෙදුම්කාරධුරත්වය අහෝසි කරන බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ සභාපතිවරයා සිය වක්‍රලේඛනයෙන් සියලුම සිපෙට්කෝ බෙදුම්කරුවන් වෙත දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *