තමා සැමදා සිටින්නේ මේ රටේ ජනතාව සමග බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –ජාති,ආගම්,වර්ණ බේදයෙන් තොරව මේ රටේ සියලු ජනතාව එක්ව තමා ජනාධිපති ධුරයට පත්කරගත්තේ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් මෙන්ම පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳ අසීමිත අපේක්ෂා පෙරදැරිව බව පැවසූ ජනාධිපතිතුමා සැමදා ජනතාව සමග කටයුතු කරමින් එම අභියෝග ජය ගන්නා බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(21) පස්වරුවේ මඩකලපුව ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ජාති, ආගම් බේදයකින් තොරව මඩකලපුව දිස්ති‍්‍රක්කයේ අතිවිශාල ජනතාවක් මෙම ජනහමුවට එක්ව සිටී අතර, අතිබහුතර වූ ද්‍රවිඩ ජනතාවකගෙන් ක්‍රීඩාංගණය පිරි ඉතිරී ගොස් තිබුණි.

ජනහමුව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජාති, ආගම් බේදයකින් තොරව රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

සංවර්ධනයෙන් අතපසු වූ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වේගවත් කරමින් ජනතා ගැටලු විසඳීම සඳහා තමා සමග කටයුතු කිරීමට නව සංවිධානයක් දිස්ති‍්‍රක්කය තුළ ස්ථාපිත කරන බව ද මෙහිදී පැවසු ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරවිය යුතු බව ද කියා සිටියේය.

රට ඉදිරියට ගෙන යාමට සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ජාති, ආගම් බේදයකින් තොරව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගන්නා ලෙස ද මෙහිදී ජනතාවට ආරාධනා කළ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ මුදල් සොරාකෑ කිසිවෙකුට ජනතාව සමාව නොදිය යුතු අතර ඒ කිසිවෙකුට සමාව දීමට තමා ද සූදානම් නොමැති බව අවධාරණය කළේය.

ක්‍රීඩාංගණයට රැස්ව සිටී ජනතාවගෙන් මෙහිදී ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මඩකලපුව දිස්ති‍්‍රක් සංවිධායක ජී. හරිදරන්ගිරි මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවට ශී‍්‍ර ලංකා ජනතා ජාතික පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විෂ්ණු කාන්තන්, මඩකලපුව පත්තිරිප්පුව, කල්කුඩා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරීන් රැසක් ද එක්ව සිටියහ.

ටී.එම්.වී.පී පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික එරාවුර්පත්තු ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති තම්බිනායගම් කලේන්ද්‍රන් මහතා මෙහිදී ජනාධිපතිතුමාට සහය පළකරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *