සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ක්ෂේත‍්‍ර ගණනාවකින් ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) –සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතා පවසයි.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ආචාර වෙඩිමුර සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

එමෙන්ම දෙරට අතර වෙළෙඳ කටයුතු සීග‍්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊෂ්වරන් මහතා ඊට අත්සන් තැබූහ.

මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මගින් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත‍්‍ර තුළ දෙරටටම ප‍්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි.

වෘත්තීය පුහුණු, නව රැකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍ර සඳහා සිංගප්පූරුවෙන් ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ද මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට අදාළ ආයෝජන අවස්ථා විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර ඒ සඳහා සිංගප්පුරුවේ ආයෝජකයින් තවදුරටත් දිරිමත් කරන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ එළැඹෙන ව්‍යාපාරික හමුවලදී විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව සඳහන් කළේය.

මූලෝපායික වශයෙන් සමානකම් රැසක් ඇති රටවල් දෙකක් ලෙස එම සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බොහෝ සෙයින් ඉඩ ප‍්‍රස්ථාව පවතින බව ද සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය, සංචාරක, අන්තර්ජාල පාදක වාණිජ කටයුතු, බලශක්ති සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍රවලට ප‍්‍රමුඛතාවය ලබාදෙමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

සංචාරක ක්ෂේත‍්‍රය තුළ ශී‍්‍ර ලංකාවේ නිර්මාණය වී ඇති නව අවස්ථා පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා අග‍්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප‍්‍රතිචාරයක් හිමිවිය.

ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් සංවර්ධන සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට සිංගප්පූරු රජයෙන් ලැබෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා එම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

ලංකාවේ රාජ්‍ය සේවකයින් පුහුණුව සඳහා සිංගප්පුරුවෙන් ලැබෙන සහය අගය කළ ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයින් පුහුණු කරන ශී‍්‍ර ලංකාවේ ඇති ආයතනවල දියුණුුව සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

වෘත්තීය පුහුණ ක්ෂේත‍්‍රය තුළ නව අවස්ථා උත්පාදනයට සහ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශේෂයෙන් මානව සම්පත් ප‍්‍රවර්ධනය සඳහා සහයවන ලෙස ද ජනාධිපතිතුමා කළ ඉල්ලීම කෙරෙහි අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම දැනට ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් සිංගප්පුරුවේ විවිධ ක්ෂේත‍්‍රවල සේවයේ නිරතවන අතර ඔවුන් ඉතා සතුටින් එහි සේවය කරන බව පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ට තවදුරටත් සිංගප්පූරුවේ රැකියා අවස්ථා විවරකරදීම පිළිබඳ සොයාබලන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

දූපත් රාජ්‍යය ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා සාමූහික උත්සහයක් දැරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර වේදිකාවේදී සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව ඉතා සමීපව කටයුතු කරන අතර ආසියාන් (ASEAN) සංවිධානය සමග ඉතා හොද සබඳතාවයක් පවත්වන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ආසියාන් සංවිධානය සමග තවදුරටත් සමීපව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකාව අපේක්ෂා කරන බැවින් එහි පාර්ශ්වික සංවාද පාර්ශ්වකරුවෙක් වශයෙන් බැඳීමට ශී‍්‍ර ලංකාව කර ඇති ඉල්ලීමට සහය ලබාදෙන ලෙස ද සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.

2015 වසරේ තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව යහපාලන අරමුණු ජය ගැනීම සහ සංහිඳියාව වෙනුවෙන් වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා එහිදී රටේ ආර්ථික වර්ධනයට ප‍්‍රමුඛ ස්ථානයක් ලබාදී ඇති බව ද කියා සිටියේය.

රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරයේ බලතල පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ අන්දම ද සිහිපත් කළේය.

ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවීම පිළිබඳ මෙහිදී සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට සහ එම සබඳතා ක්ෂේත‍්‍ර රැසක් ඔස්සේ ව්‍යාප්ත කර ගැනීමට මෙම සංචාරය ඉවහල්වනු ඇති බව ද කියා සිටියේය.

එමෙන්ම සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතාගේ පියාණන් වන හිටපු අග‍්‍රාමාත්‍ය ලී ක්වාන් යු මහතා ශී‍්‍ර ලංකාව සමග පැවැත්වූ සමීප සබඳතාවය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කිහිප අවස්ථාවකදීම එතුමා ශී‍්‍ර ලංකාවේ සංචාරය කළ අයුරු ද සිහිපත් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, තිලක් මාරපන, තලතා අතුකෝරල, සාගල රත්නායක, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, මලික් සමරවික‍්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සිංගප්පුරු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය Vivian Balajrishnanවෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය S.Iswaran යන මහත්වරුන් සහ ශී‍්‍ර ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් S. Chandra Das මහතා සහ පාර්ලිමේන්තු සාමාජිකයින් වන Liang Eng Hwa, Saktiandi Bin Supaat යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය විසින් පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග‍්‍රහය ද කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *