රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය ව්‍යාප්ත කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලය දිවයින පුරා කඩිනමින් ව්‍යාප්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාට උපදෙස් ලබා දී ඇත.

ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දීය.

මේ වන විට දිවයින පුරා ඔසුසල් 36 ක් ක්‍රියාත්මකය. ඉදිරි කාලයේ දී අක්කරෙයිපත්තුව, මොණරාගල, පේරාදෙණිය, මාතලේ සහ කෑගල්ල යන නගර වල ඔසුසල් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.
නියෝජිත ඔසුසල් ජාලය සහ අලෙවිසැල් ද ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. දිවයින පුරා සියලුම රෝහල්වල දේශිය ඖෂධ මිලදී ගැනීම් සිදු කරන්නේ ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. ඔසුසල් ජාලය ව්‍යාප්ත කිරීමේ දී දිවයින පුරා පිහිටි මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් ආශ්‍රිතව ද ඔසුසල් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආදායම වර්ධනය වී ඇති බැවින් සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පියවර ගන්නා ලදි. 2017 වසරේ දී පමණක් රුපියල් මිලියන 6000 කට අධික ඖෂධ අලෙවියක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සිදු කොට ඇත. එහිදී රජයේ රෝහල්වලට රුපියල් මිලියන 191 ක අක්ෂි කාච ද ලබා දී ඇති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණ විය.

මෙම අවස්ථාවට සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූම් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *