අගමැතිට මඩ ගැසිමේ ව්‍යාපාරයේ සුල මුල අනාරවණයක් – ඇමති අකිලගෙන්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ නායකත්වයට බැඳුම්කර චෝදනා එල්ල කරන පසුගිය රජයේ ඇතැම් පිරිස් වෙතම අද එම චෝදනා පරාවළල්ලක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අදාළ බැඳුම්කර සිද්ධිය සැල වූ වහාම 2015 වසරේ දී ම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පිටිපන ත්‍රිපුද්ගල කමිටුව පත් කළ බවත්, එහි නිර්දේශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දීම සඳහා 2015 වසරේ මැයි මාසයේ දී ම පියවර ගත් බවත් ඇමතිවරයා සදහන් කළේය.

තවදුරටත් අදාළ ගණුදෙනුව පිළිබඳ විනිවිද භාවයෙන් යුක්තව කරුණු විමර්ශනය කිරීම සඳහා මැතිවරණය අවසන්ව තිබූ පසුබිමක වුව ද තමාට වාසි දායක නියොජිතයින් පත්කරනු වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයන් තහවුරු කරමින්, කොප් කමිටුවේ සභාපතිධුරයට විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගත් ආකාරය ද අධ්‍යාපන අමාත්‍යවරයා සිහිපත් කරන ලදි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොප් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය නීතිපතිවරයා වෙත ලබා දීම සඳහා කටයුතු කරමින් දූෂණයට එරෙහිව ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට එතුමන් ක්‍රියා කළ ආකාරය ද පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉන් ද නොනැවති අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ වූවන් ට එරෙහිව ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සහ දඩුවම් පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට ද 2016 වසරේ දී පියවර ගත් බව පැවසීය.

මෙම ක්‍රියාමාර්ග ද තවදුරටත් තහවුරු කරමින් ජනාධිපතිවරයා සමග එක්ව බැඳුම්කර කොමිසම පත් කිරීමට ක්‍රියා කළ අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීමට ද කටයුතු කළේ සෑමවිටම යුක්තිගරුක සහ නීතිගරුක දේශපාලනඥයෙකුගේ භූමිකාව තුළ සිටිමින් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

නමුත් වර්තමානයේ ඇතැම් කණ්ඩායම්, බැඳුම්කර සිද්ධිය යොදා ගනිමින් අග්‍රාමාත්‍යවරයාට මඩ අවලාද නැගීමේ අසාර්ථක උත්සහයක් නිරතව සිටින බවත් අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායකයාට එල්ල කරන චෝදනා ඔවුන්ටම පාරාවළල්ලක් වීම පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව නොමඟ යවමින් ඡන්ද දිනාගැනීම සඳහා උත්සහ කරමින් සිටින රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම තෙවන වරටත් පරාජයට පත් කරමින් පෙබරවාරි 10 වන දා රටේ ජනතාව ඊට පිළිතුරු සපයනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 13 =