පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් උපරිම වගකීම් ඉටුකරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – යහපත් රටක් සහ සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් දූෂණයට එරෙහි සටන මෙම පෙබරවාරි 10 වනදායින් පසුව ආරම්භ කරන බව ජනාධිපතිතුමා පවසයි.

අපේ රට ලොව අන් දියුණු රටවල් මට්ටමට ගෙන ඒමට නොහැකි වී ඇත්තේ දූෂිත දේශපාලනය නිසා බව පැවසූ ජනාධිපතිතුමා පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් තම ධුර කාලය තුළ උපරිම වගකීම් ඉටුකරන බව ද අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (24) පෙළොන්නරුව බකමූණ ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

අනතුරුව පොළොන්නරුව අත්තනකඩවල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට ද ජනාධිපතිතුමා එක් විය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇලහැර ප‍්‍රාදේශීය සභාවට තරගකරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමු සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාවට අහිමිවූ සංවර්ධනයේ අරුණළු උදාකරදීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කරන පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන ඉදිරියේදී එහි පළාත් පාලන ආයතනවලට තේරිපත්වන නව නියෝජිතයින් සමග නව පිබිදීමකින් කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

තම පවුලේ අය රටේ ප‍්‍රධාන ආයතනවල ඉහළ තනතුරුවලට පත්කරගනිමින් ඥාති සංග‍්‍රහයට මුල් තැන දී රාජ්‍ය දේපළ සොරා කෑ සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් ඒකාධිපතිවාදය සහ පවුල්වාදය වැපිරූ පාලනයක් යළි රට තුළ ඇතිකරමින් රට ආපස්සට ගෙනයාමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

පිරිසිදු ප‍්‍රාදේශීය සභාවක් පත්කරගනිමින් ඉදිරියේදී පිරිසිදු රජයක් ගොඩනගා ගැනීම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අරමුණ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ලබා නොදෙන සෑම ඡන්දයක්ම භාවිතා වන්නේ දූෂණය, වංචාව හොරකම සහ නාස්තිය රජයන පාලනයක් යළි රට තුළ ඇතිකිරීම වෙනුවෙන් බව ද කියා සිටියේය.

එබැවින් මෙවර මැතිවරණයේදී පක්ෂ, පාට හෝ දේශපාලන මතිමතාන්තර නොව වැදගත් වන්නේ රට සහ රටේ අනාගතය වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීම බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උතුරු මැද පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සහ අනුරුද්ධ පොල්ගම්පොල, අමරවංශ මොහෙට්ටිගේ යන මහත්වරුන් ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇලහැර ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන් මෙම ජනහමුවලට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + two =