වසර 17ක් යට ගැසූ ව්‍යාපෘතියක් අද යළිත් පණ ගසයි

(කොළඹ, ලංකාපුවත්) – වසර 17ක් තිස්සේ නොසලකාහැර තිබූ ව්‍යාපෘතියක් මාස තුනක් වැනි ඉතා කෙටි කාලයකදී අවසන් කර එහි මෙහෙයුම්ද ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගම අද (25) සමත් විය.

ගුවන් යානා ඉන්ධන පැටවීම සඳහා අත්‍යවශ්‍ය වූ පෙරහන් පද්ධතිය කොලොන්නාව නිමාවේ ස්ථාපිත කිරීම එම ව්‍යාපෘතියයි. අභිනවයෙන් ඉඳිකෙරුණු එම පෙරහන් පද්ධතිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතින් අද විවෘත කෙරිණ.

ඒ සමඟින් ගුවන් යානා ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් JIG ආයතනය විසින් මේවනවිට ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන Good සහතිකය Excellent දක්වා ඉහළ නැංවීමට මෙම නව පෙරහන් පද්ධතිය ස්ථාපිත කිරීම හේතුවක් වනු ඇතැයිද ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගමේ මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද සභාපති දම්මික රණතුංග මහතා පැවසීය.

JIG ආයතනය හෙවත් Joint Inspection Group යනු අන්තර්ජාතිකව පිළිගත් ආයතනයකි. ගුවන් යානා ඉන්ධන පිරවීමේදී සම්මත ක්‍රමවේද සහ තත්ත්ව පරීක්ෂණ නිසි ලෙස සිදු වන්නේදැයි තහවුරු කිරීම එම ආයතනයේ මූලික කාර්යභාරය වේ. ගුවන් යානා ඉන්ධන පැටවීමේදී පෙරහන් පද්ධතියක් අත්‍යවශ්‍ය බවට එම ආයතනය විසින් මෙරටට අවස්ථා කිහිපයකදීම නිර්දේශ කර තිබිණ. එම නිර්දේශ මත 2001 වර්ෂයේදී කොළොන්නාව නිමාවෙහි ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඇවැසි මූලික ලිපිලේඛන සැකසුණත් 2017 ජුනි මාසය වන තෙක්ම එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ නැත. කෙසේනමුත් වසර 17ක් ක්‍රියාත්මක නොවූ එම ව්‍යාපෘතිය මීට මාස තුනකට ඉහතදී ආරම්භ වූයේ එම ප්‍රමාදය නිරීක්ෂණය කිරීමෙන් පසුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ මෙහෙයවීමෙනි. එම පද්ධතිය විවෘත කළ අවස්ථාවේදී උත්සව සභාව අමතමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතා පැවසුවේ මෙම පෙරහන් පද්ධතිය ස්ථාපිත කිරීම හේතුවෙන් එක් ගුවන් යානා ඉන්ධන නෞකාවකින් ලංකාවට ඉතිරිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 2-3ත් අතර ප්‍රමාණයක් ගන්නා බවයි.

“කොලොන්නාව නිමාවේ අද වනතුරුම ගුවන් යානා ඉන්ධන දුම්රිය ටැංකියට පිරවීමේ ක්‍රියාවලියට අවශ්‍ය පෙරහන් පද්ධතියක් තිබුණේ නැහැ. මේ නිසා ගුවන්යානා ඉන්ධන ආනයනය සඳහා පිරිවිතර සැකසීමේදී පෙරහන් පද්ධතියක් නොමැති බවට එකී ලේඛනවල සඳහන් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වුණා. එහි අනිවාර්ය ප්‍රතිඵලය වුණේ ගුවන් යානා ඉන්ධන ආනයනය සඳහා ලංසු කැඳවීමේදී සැපයුම්කරුවන් විසින් වැඩි ලංසු තැබීම සඳහා කටයුතු කිරීමයි. මේ හේතුවෙන් වැඩිමුදලකට ගුවන්යානා ඉන්ධන මෙරටට ආනයනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වුණා. නමුත් දැන් මේ පෙරහන් පද්ධතිය සවිකිරීම හේතුවෙන් තවදුරටත් වැඩි මුදලකට ගුවන්යානා ඉන්ධන මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. දැන් අපිට ගුවන්යානා ඉන්ධන ආනයනය සඳහා වඩාත් තරගකාරී ලෙස මිලගණන් කැඳවන්න පුළුවන්. එයින් මෙරටට ආනයනය කරන එක් ගුවන් යානා ඉන්ධන නෞකාවකින් අමෙරිකානු ඩොලර් ලක්ෂ ‍2ත් 3ත් අතර ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අපිට හැකි වනවා. එයින් අපේ රටට ලැබෙන මුල්‍ය වාසිය අති විශාලයි. ඒ සමඟම ගුවන්යානා ඉන්ධනවල ගුණාත්මක බව තහවුරු කර ගැනීමටද අපට හැකි වනවා……” යැයිද සභාපති දම්මික රණතුංග මහතා පැවසීය.

අද විවෘත කෙරුණු පෙරහන් පද්ධතිය කොලොන්නාව නිමා‍වෙහි සම්පූර්ණයෙන්ම ස්ථාපිත කෙරුණේ ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගමේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණ දැනුමිනි. ඉලක්ක ගත කාලයට වඩා දින කිහිපයකට පෙර එම පද්ධතිය ස්ථාපිත කිරීමටද ඔවුන්ට හැකි විය. එමෙන්ම එම පද්ධතියට සමගාමීව පැයට කියුබික් මීටර් 136 ධාරිතාවෙන් යුත් පොම්ප දෙකක්ද සවි කෙරිණ. මෙතෙක් කොලොන්නා‍ව නිමාවේ තිබුණේ පැයට කියුබික් මීටර් 114 පොම්පයකුත්, පැයට කියුබික් මීටර් 60 පොම්පයකුත් සහ පැයට කියුබික් මීටර් 50 පොම්පයකුත් පමණි. කෙසේනමුත් අද සවි කළ පැයට කියුබික් 136 ධාරිතාවෙන් යුත් පොම්ප දෙක හේතුවෙන් පෙර පැවැති පිරවීම් වේගයට වඩා වැඩි වේගයකින් පිරවීම් කළ හැකි බව ලංකා ඛනිජතෙල් තොගගබඩා පර්යන්ත සමාගම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *