ළමා අපයෝජන නඩුවලට නීතීඥ සහාය නොමිලේ

(කොළඹ, ලංකාපුවත්) – කල් ගතවන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ “නීතීඥ සහය අවශ්‍ය නම්” 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.

ළමා අපයෝජන නඩු කටයුතු ප්‍රමාදවීම වර්තමානයේදී මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට පත්ව ඇත. ඒ සඳහා කඩිනම් යාන්ත්‍රණයක් සැකසීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විට සැලසුම් කර තිබේ. එහි පළමු අදියර ලෙස කල්ගත වන ළමා අපයෝජන නඩු සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතීඥ සහය නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව එවැනි අවශ්‍යතාවයක් මතුව ඇති ඕනෑම තැනැත්තෙකුට 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා අවශ්‍ය සහයෝගය ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලා සිටිය හැකිය.

මෙලෙස වසර 07ක කාලයක් ප්‍රමාද වූ නඩු විභාගයක් සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ලෙස මා අද දින අධිකරණයකදී පෙනී සිටින ලදි. මෙය කරාටේ පුහුණුකරුවෙකු විසින් 15 හැවිරිදි දැරියක් ලිංගික අතවරයකට ලක් කිරීමකට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තිය යටතේ පවරා තිබූ නඩුවක් වූ අතර, ඊට අදාළ සාක්ෂි විමසීම ඊයේ (24) දින සිදු කරන ලදි.

මේ අවස්ථාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශයේ සහකාර අධ්‍යක්ෂ නීතීඥ යෂාලි අබේසුන්දර මහත්මියද සහභාගී විය. කඩිනමින් මෙම නඩු විභාගය අවසන් කර, වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාව බවද ජාතික ළමා ආරක්ෂක අධිකරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *