ශී‍්‍ර ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් – ඉන්දුනීසියා ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, දුම්රිය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය උදෙසා ශී‍්‍ර ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පවසයි.

ශී‍්‍ර ලංකාව තුළ දුම්රිය නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳව සොයා බලන බව ද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ වීඩෝඩෝ මහතා සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයෙකු ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වන්නේ ඉන්දුනීසියාවේ හිටපු ජනාධිපති සුකර්නෝ මහතා 1979 වසරේදී ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව එනම් වසර 38 කට පසුව වීමද විශේෂත්වයකි.

අද පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා සහ එම මැතිණිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර,ආචාර වෙඩි මුර 21 ක් සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවිය.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ප‍්‍රධාන ක්ෂේත‍්‍ර 03 ක් ඔස්සේ එම ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම, දෙරට අතර පුද්ගල සහ ආයතනික ධාරිතා වර්ධනය කරගැනීම සහ ඉන්දියානු ශාන්තිකර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු විය.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු කෙරිණි.

ඉකුත් වසර කිහිපයේ සිට ව්‍යවසායකයන්ට වාසිදායක වන ආයෝජන පසුබිමක් ශී‍්‍ර ලංකාවේ තිබෙන අතර, ශ‍්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට ඉන්දුනීසියානු ව්‍යවසායකයින් දිරිගන්වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප‍්‍රතිචාරයක් හිමිවිය.

ඇඟලුම් ක්ෂේත‍්‍රයේ නිෂ්පාදන සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද නායකයින් සාකච්ඡා කළහ.

ශී‍්‍ර ලංකාව වටා ඇති සාගර සම්පත රටේ ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී ආකාරයෙන් යොදාගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසට ජනාධිපතිතුමා මෙහිදී ඉන්දුනීසියානු අග‍්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට එතුමාගේ විශේෂ අවධානය යොමුවිය.

ආරක්ෂාව ආශි‍්‍රත වැඩමුළු, ශිෂ්‍යභට හුවමාරු වැඩසටහන් ආදිය කි‍්‍රයාත්මක කරමින් දෙරටේ ආරක්ෂක හමුදා අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළ අතර, ති‍්‍රකුණාමලයේ පවත්වනු ලබන අසමමිතික යුද පාඨමාලාවට සහභාගීවීම සඳහා ඉන්දුනීසියා නාවික හමුදාවේ විශේෂ බළකා භටපිරිස් වෙනුවෙන් අවස්ථාවක් ලබාදීමට හැකියාව පවතින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉන්දුනීසියා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් බව පැවසූ ජනාධිපතිතුමා පසුගිය වසරේ මාර්තු මාසයේදී තමා ඉන්දුනීසියාවේ සිදු කළ සංචාරයේදී දැක්වූ ඉහළ පිළිගැනීම සහ සුවිශේෂිී ආගන්තුක සත්කාර පිළිබඳ සිය කෘතවේදිත්වය පළ කළේය.

2017 වර්ෂයේදී ශී‍්‍ර ලංකාව මුහුණ දුන් සහල් හිඟයට පිළියමක් ලෙස ඉන්දුනීසියානු රජය විසින් සහල් මෙටි‍්‍රක් ටොන් 5,000 ක් පරිත්‍යාග කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත සිය විශේෂ ස්තූතියි පිරිනැමීය.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ස්ථාපිත වී වසර 65 ක් සපිරීම ද මේ වසරේ සමරනු ලබන අතර මෙම දශක හය හමාරක කාලපරිච්ඡේදය තුළ දෙරට විසින් දේශපාලන, සංස්කෘතික, ආර්ථික, වෙළෙඳ, ආරක්ෂක හා සංචාරක යන ක්ෂේත‍්‍ර ඔස්සේ පවත්වාගෙන යනු ලබන මිත‍්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතාවය ද නායක දෙපළ සිහිපත් කළහ.

නිදහස් රටවල නව සබඳතාවකට පදනම වූ නොබැඳි ජාතින්ගේ ව්‍යාපාරයට තුඩුදුන් 1955 බැන්ඩුන් සමුළුවේදී ඉන්දුනීසියාව ලබාදුන් ඓතිහාසික නායකත්වයද මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිහිපත් කරනු ලැබීය.

වර්තමානයේදී ඉන්දුනීසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ජාත්‍යන්තර තලයේ පවතින ශක්තිමත් සහයෝගීතාවය ද සිහිපත් කළ ජනාධිපතිතුමා ඉන්දියානු සාගර වටද්දර රටවල සංවිධානයේදී දෙරටම ඉතා සහයෝගීතාවයෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.

ආසියාන් සංවිධානයේ පාර්ශ්වික සංවාදකරුවෙකු වශයෙන් සාමාජිකත්වය ලබාගැනීමට ශී‍්‍ර ලංකාව කර ඇති ඉල්ලීමට සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දීය සහ ශාන්තිකර සාගර සහයෝගීතාව ප‍්‍රවර්ධනය කිරීමට ශී‍්‍ර ලංකාවේ සහය අපේක්ෂා කරන බව ඉන්දුනීසියා ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුම් 03 කටද ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

උසස් අධ්‍යාපන, පර්යේෂණ හා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, නීති විරෝධි අයුරින් මත්ද්‍රව්‍ය සහ මත්කුඩු ප‍්‍රවාහනය මැඩලීමේ අවබෝධතා ගිවිසුම සහ සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් පිළිබඳ අවබෝධතා ගිවිසුම ඊට ඇතුළත්ය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, තිලක් මාරපන, මලික් සමරවික‍්‍රම, මහින්ද අමරවීර, සාගල රත්නායක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *