මෙරට දුම්රිය සංවර්ධන කාර්යයට ඉන්දුනීසියාවේ පූර්ණ සහය

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ දුම්රිය සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දුනීසියාවේ පූර්ණ සහය ලබා දෙන බවත්, මූලික ශක්‍යතා වාර්තාවක් සැකසීම උදෙසා ඉන්දුනීසියානු තාක්‍ෂණික ශිල්පීන් පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට එවන බවත් ඉන්දුනීසියානු ජනාධිපති ජොකො විදාදෝ මහතා පැවසීය.

ඊයේ (25) උදෑසන අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් විදාදෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දුනීසියානු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා පදනම් කර ගනිමින් දෙරටේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරලීමට කටයුතු කළ යුතු බවය.

හත්වන සියවසේ ඉන්දුනීසියාවේ ස්ථාපිත වුණු ශ්‍රී විජය රාජ පරපුර ශ්‍රී ලංකාවේ අභයගිරි විහාරය සමග සමීප සබඳතා පවත්වා ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයෙහිලා ඉන්දුනීසියාවට ලබා දිය හැකි දායකත්වය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැණිනි. විශේෂයෙන්ම ජල හා ජලාප්‍රවාහන, මහාමාර්ග වැනි ක්ෂේත්‍රයන් පිළිබඳව ප්‍රමුඛත්වය ලබාදීමේ හැකියාව ගැන ද විමසා බැලිණි. ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන කාර්යයන් සඳහා එක්වීමට කැමැත්තෙන් සිටින බව විදාදෝ ජනාධිපතිවරයා පැවසීය.

අධ්‍යාපන හා සංචාරක ක්ෂේත්‍රයන් වර්ධනය කරලීම උදෙසා එක්ව ක්‍රියා කිරීමේ හැකියාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉන්දු ශාන්තිකර සාගර කලාපයන්හි සහයෝගීතාව ශක්තිමත් කරලීම හා ඉන්දීය සාගර කලාපීය රටවල තිරසරභාවය සහතික කරලීම මෙන්ම නිදහස් හා සාමකාමී නාවුක ගමනාගමනය ආරක්‍ෂා කරලීම සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී කරුණු පැහැදිලි කෙරිණි.

ඉදිරියේ දී පැවැත්වෙන යොවුන් පුරය සඳහා ඉන්දුනීසියානු තරුණ තරුණියන් පිරිසක් සහභාගී කරවන ලෙස අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් ද කළේය.

මේ සාකච්ඡාවට ඉරියානා විදාදෝ මැතිණිය සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක,  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන පෙරේරා යන මහත්වරුන් ද, ඉන්දුනීසියානු පාර්ශ්වය වෙනුවෙන් එරට ආර්ථික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ඩාමින් නසුෂන් (H.E. Mr. Darmin Nasution), විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී රෙට්නෝ එල්.පී. මර්සුඩි (H.E. Mrs. Retno L.P. Marsudi), කැබිනට් ලේකම් ප්‍රමනො අනුරාග් (H.E. Mr. Pramana Anung), ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ගුස්ටි නුරා ආදියාසා (H.E. Mr. I Gusti Ngurah Ardiyasa) යන මහත්ම මහත්මීහු ඇතුලූ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 − 2 =