ලබන වසර වන විට ජාත්‍යන්තර මූල්‍ය නගරයේ හෙක්ටයාර 269 ගොඩකර අවසන් කරනවා – ඇමති පාඨලී

(කොළඹ, ලංකාපුවත්) – ලබන වසර වන විට ජාත්‍යන්තර මූල්‍ය නගරයේ හෙක්ටයාර 269 ගොඩකර අවසන් කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ ඊයේ(25) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” වරාය නගර ව්‍යාපෘතිය 2014 අග භාගයේ ඉතා කඩිනම්න් ආරම්භ කළා. නමුත් එහි ඉතා බරපතල ප‍්‍රශ්න කිහිපයක් පැවතුනා. ඉන් ප‍්‍රධාන ගැටළු දෙක උනේ පරිසර අධ්‍යන වාර්තාවකින් හෝ පරිසර අධ්‍යනයකින් තොරව එවැනි විශාල ව්‍යාපෘතියක් දියත් කිරීමයි. දෙවැන්න උනේ මේ ලංකාවේ ප‍්‍රථම වරට මුහුද ගොඩකර බිම්කඩක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් නිසා මෙම ව්‍යාපෘතියේ අනාගත නීත්‍යානුකූල හිමිකරුවන් කවුද කියන ගැටළුවයි. ඒ අවස්ථාවේදී වරාය අධිකාරිය සමගයි එකඟතාවයකට පැමිණිලා තිබුණේ. නමුත් නීති විශාරදයින්ගේ මතය උනේ වරාය අධිකාරියට එවැනි ව්‍යාපෘතියකට එකඟවෙන්න, කි‍්‍රයාත්මක කරන්න ඔවුන්ගේ අණ පනත්වලින් ඉඩකඩක් නොමැති බවයි.

ඒ නිසා අපි ඊට අමතරව තව පාරිසරවේදීන්ගේ විරෝධතා ඇති වී තිබුණා. ධිවර ප‍්‍රජාවගේ සමාජ විරෝධතා ඇතිවී තිබුණා. ඊට අමතරව සින්නක්කරව මේ ඉඩම් ලබාදීම පිළිබඳව සමාජ විරෝධතාවකුත් සමාජයේ තිබුණා. අපි මාස ගණනාවක් මේ පිළිබඳව සාකච්ඡා කර සෑම ගැටළුවක්ම නිරාකරණය කළා. ඒ අනුව එහි නීත්‍යානුකූල ප‍්‍රශ්නය විසඳුනා. දැන් මේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව රටේ භූමි භාගයට අයිතිකරුවා රටේ ජනාධිපතිතුමයි. විශේෂයෙන්ම වෙරළ තීරයේ සිට මුහුදු සැතපුම් 12 ක ප‍්‍රදේශය දක්වා සාගර ජලයත් පත්ලත් එහි සියළු සම්පත් අයිති ශ‍්‍රී ලංකාවට, ජනාධිපතිතුමාට. ඒ අනුව ජනාධිපතිතුමා රටේ නාගරික සංවර්ධනයේ ප‍්‍රධාන ආයතනය වූ නාගරික සංවර්ධන අධිකාරියට බලපත‍්‍රයක් ලබාදුන්නා එතුමා වෙනුවෙන් මේ කටයුත්තට මැදිහත් වෙන්න. ඒ අනුව අපිත් අපේ නාගරික සංවර්ධන අධිකාරියත්, එම සංවර්ධන කටයුත්ත කරන චයිනා හාබර්, ඒ ගොල්ලො නෙමෙයි ආයෝජකයා, නමුත් සංවර්ධන කටයුත්ත කරන එම පිරිසත්, එහි ආයෝජකයත් අපි සියළු දෙනාම එකතු වෙලා ත්‍රෛයි පාර්ශ්වික එකඟතාවයකට ආවා. ඒ මගින් මෙහි තිබූ නීත්‍යානුකූල තත්වය විසඳුනා. ඊ ළඟට අපි ගොඩකිරීම සම්බන්ධයෙන් විධිමත් පරිසර අධ්‍යනයක් කළා. එමගින් අපට යම් යම් නියෝග ලැබුණා ඉටු කිරීමට. ඒ අනුව එම නියෝග සියල්ලම පාහේ පිළිපැදලා කටයුතු කරනවා. ඊට අමතරව සමාජ ප‍්‍රශ්න පැණ නැගුණා ධිවර ප‍්‍රජාවගෙන්. එම අයත් සම්බන්ධයෙන් නිරන්තර සම්බන්ධිකරණයක් කරමින් එම කටයුතු කරගෙන යනවා. ඒ වගේම නොයෙක් බිය සැක ඇතිවී තිබුණා මේ ගල් තොග අරගෙන එනකොට පාරවල් අවහිර වෙයි, කොළඹ අපිරිසිදු වෙයි. කොළඹට දූවිල්ල එයි එවැනි ගැටළු තිබුණා. මෙතරම් විශාල වැලි කන්දක් ගත්තට පසුව මුහුදු සම්පත්, විශේෂයෙන්ම කොරල් පරයට හානි සිදුවීම වැනි නොයෙක් සැක සංකා මතුවුනා. ඒ සියල්ලම අපි විසඳලා එහි ගොඩකිරීම්වලින් 60% ක් අවසන් කර තිබෙනවා. ලබන වසර වන විට සියළුම ගොඩකිරීම් කටයුතු අවසන් කර හෙක්ටයාර් 269ම අපි විධිමත්ව ගොඩකිරීම් කටුයුතු කරනවා.

දෙවෙනි කාරණය මෙහි සංවර්ධනය කිරීම. මෙහි සංවර්ධනය කිරීමේ දී රජයට සංවර්ධනය කිරීමේ පියවර කිහිපයක් තිබෙනවා. පළමු පියවර ගොඩකිිරීමට පරිසර අධ්‍යනයක් කළාට, ගොඩනැගිලි ඉදිිකිරීමට පරිසර අධ්‍යනයක් කර නැහැ. දැන් එම පරිසර අධ්‍යනයත් අපි සිදු කළා. ඒ සඳහා මහජන අදහස් ලබාගැනීම සිදුකර එම නියෝග ආදිය මධ්‍යම පරිසර අධිකාරියෙන්, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබී තිබෙනවා. එම නියෝගවලට අනුකූලව අපි කි‍්‍රයා කරනවා. මෙතන පරිසර අධ්‍යන දෙකක් තිබෙන බව මතක තියා ගන්න. ගොඩකිරීමට එකකුත්, ගොඩනැගිලි ඉදිකර නගරයක් නිර්මාණය කිරීමට තිබෙන පරිසර අධ්‍යනය. එසේම සමාජමය බලපෑම වෙනුවෙනුත් අධ්‍යනයක් සිදුකලා. එම සියළු කටයුතු අපි සිදුකර තිබෙනවා. ඒ වගේම මෙම ගොඩකිරීම ඉවර වෙනකන් අපි ඉන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම හඳුනාගත් හෙක්ටයාර 20 ක් ආරම්භයේ ගොඩනගන්න. ඒ අතරේ අපි යටිතල පහසුකම් විදුලිය හා ජලය ලබාදීම මේ වන කොටත් පියවර ගෙන තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ විදුලි උපපොළ මේ වන විට වැඩ අවසන් වෙමින් පවතිනවා. ඒ වගේම 220ණඪ විදුලි පද්ධති රැහැන අවිත් තිබෙනවා. ඊ ළඟට ජල මණ්ඩලයෙන් අපට ජල සැපයුමත් කර තිබෙනවා. මේ මූලික කරුණු දෙකටම අදාල යටිතල පහසුකම් 2025 වෙනකන් සම්පූර්ණ කර තිබෙනවා.

කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් දැන් දියත් කර තිබෙනවා. 2019 අග ඕනැම කසළක් බාර ගන්න පුළුවන් අරුවක්කාලූ කසළ රඳවනය ඉදිවෙනවා. ඒ නිසා යටිතල පහසුකම් පිළිබඳ ගැටළුව අවසන් වෙනවා.

මේ හෙක්ටයාර් 20 අපි විසින් ජනාධිපතිතුමාට දැනුම් දුන්නට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේදී පමණ එය ශ‍්‍රී ලංකාවේ භූමි භාගයක් ලෙස ප‍්‍රකාශයට පත් කරයි කියලා. ඒ අනුව එතුමා එය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම සිදුවෙනවා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය පෙරළා මෙය 99 අවුරුදු බද්දකට අපි නැවත මෙහි ගොඩනැගිලි ඉදිකිරීමට චයිනා හාබර් ආයතනයට ලබාදෙනු ඇත. චයිනා හාබර් ආයතනයෙන් අපි ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඒ අනුව ඔවුන් අප සමග එකඟ වෙලා තිබෙනවා ඩොලර් බිලියනයක් වටිනා තට්ටු 60 ගොඩනැගිලි 3ක් එහි ආරම්භක ගොඩනැගිළි හැටියට ඉදිකරන්න. ජනාධිපතිතුමාගේ නියමය නිසි පරිදි ලැබුණු වහාම නාගරික සංවර්ධන අධිකාරියේ කි‍්‍රයාකාරීත්වයත් සමග අපට හැකි වෙනවා මේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කටයුතු කරන්න. අපි පසුගියදා බීජිං නගරයේදී එම ගිවිසුම්වලට එළඹුනා චයිනා හාබර් ආයතනයේ සභාපතිතුමා සමග. ඒ ඩොලර් බිලියනක ආයෝජනය ජුනි මාසයේදී ලංකාවට ගෙන එන්න.

දැනට අප බලාපොරොත්තු වෙනවා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ, අපේ හිටපු නීතිපතිතුමාගේ මූලිකත්වයෙන් මෙම කොටස සඳහා වූ සුවිශේෂී පාලන තන්ත‍්‍රයක් හදාගෙන යනවා. මෙය කොළඹ නගර සභාවට භාර දෙන්න අදහසක් නැහැ. මෙතන සුවිශේෂී පාලනයක් ගෙන යාම සඳහා විශේෂයෙන්ම බදු ආදී කටයුතු සඳහා වූ මූල්‍ය පැත්ත, පරිපාලනමය පැත්ත යන සියල්ල අඩංගු නීතිමය කෙටුම්පතක් සකස් කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එය අපේ‍්‍රල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ අනුව මෙම ගොඩනැගිල්ල කැප වෙන්නේ ලෝකය පුරා මූල්‍ය ආයතනවලට. ඒ අනුව ලෝකය පුරා ඇති මූල්‍ය ආයතනවලට තමන්ගේ මූලස්ථාන මෙහි ආරම්භ කරන්න පුළුවන් මේ නව නීති රාමුව යටතේ.

මෙහි අභ්‍යන්තර ප‍්‍රවාහනය සඳහා හරිත ප‍්‍රවාහනය සඳහා තමයි මුල්තැන ලබාදෙන්නේ. පාගමනට, බයිසිකලයට සහ පොදු ප‍්‍රවාහනය එනම් සැහැල්ලූ දුම්රිය සේවාවක් ලබාදෙනවා. පෞද්ගලික මෝටර් රථවලට ඉඩ ලැබෙන්නේ අවසානයට.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් ඉදිවන ගුවන් මාර්ගය, ජයිකා ආයතනයේ ආධාරයෙන් ඉදිවන පෑලියගොඩ නව කැළණි පාලම හරහා අධිවේගී මාර්ග පද්ධතියට එය එකතු වෙනවා. එය වර්තමානයේ වරාය චෛත්‍ය භූමියට එනවා.

කොල්ලූපිටිය දුම්රිය ස්ථානයෙන් පටන් ගන්න මැරයින් ඩ‍්‍රයිව් එක ගොල්ෆේස් හරහා වරායට එනවා. එය තමයි සැලසුම. ඒ සඳහා අපි මාර්ග සංවර්ධන අධිකාරියත් සමග ඉංජිනේරුමය ඉදිකිරීම්, පාරිසරික අධ්‍යනයන් සිදු කරගෙන යනවා මේ සඳහා සම්පූර්ණ ආයෝජනය චයිනා හාබර් ආයතනය සිදු කරනවා. ඒ අනුව මේ ගාලූ පාරේ තිබෙන මාර්ග තදබදයට යා නොවී නව මාර්ගයක් කොල්ලූපිටියේ සිට වරායට විවෘත වෙනවා. ඒ වගේම මේ හරහා මේ තිබෙන කාර්යාල සහ අවට හෝටල සඳහා හැමෝටම පොලව යටින් පිවිසුම් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ගෝල්ෆේස් පිට්ටනිය මුහුද දෙසට තවත් මීටර් 30 කින් දිගු වීමට නියමිතයි. ඒ වගේම ලයිට් රේල්වේ සිස්ටම් එකක්, බස් ට‍්‍රැෆික් ට‍්‍රාන්ස්සිස් සිස්ටම් එකක් එන්න බලාපොරොත්තු වෙනවා. එයට සම්බන්ධව චාමර්ස් ගැන්රි ඉඩමේ ඉදිවන මල්ටිමොඩල් හබ්එක සඳහා ආයෝජකයින්ට ජුනි මාසයේ බාර දීමට නියමිතයි.

2020 වන විට බේරේ වැව වටේ එක පැල්පතක්වත් නැහැ. මේ වන විට අපි පාර්ක් වේ එකක් ඉදිකරගෙන යනවා. එය ජූනි මාසයේ විවෘත කිරීමට නියමිතයි. වරාය නගරය මධ්‍යයේ ගෝල්ෆේස් පිට්ටනියට වඩා ලොකු පාර්ක් එකක් නිර්මාණය කිරීමට නියමිතයි. මෙය සෑම ජනතාවටම විවෘත වනවා. ඒ වගේම මෙයට ගෙන එනු ලබන කාබනික පස් සියල්ලම අපි නිර්මාණය කරගෙන යනවා කොළඹ නගරයේ දිරාපත්වන කසළ වලින්. කිසිම තැනකින් අපි කාබනික පස් ගෙන එන්නේ නැහැ. කොළඹ නගරයේ දිරාපත්වන කසළ වලින් තමයි එම කාබනික පස් නිර්මාණය කරනු ලබන්නේ.

චයිනා හාබර් ආයතනය මෙහි පැමිණ සිටියේ ගොඩකිරීමේ කටයුත්ත සඳහා පමණයි. නමුත් ඔවුන් ඊ ළඟ සංවර්ධනය සඳහාත් අත තබා තිබෙනවා. ඒ අනුව මේ වසරේ හා ලබන වසරේ ඩොලර් මිලියන 1800 ක ආයෝජනයක් එහි සිදුවෙනවා. එය අපේ රටේ ආර්ථිකයටත්, රුපියල ශක්තිමත් වීමටත් විශාල ශක්තියක් වනු ඇත. ඒ වගේම අපි ඉතා ආඩම්බරයෙන් පැවසිය යුතුයි 2017 පළවෙනි හය මාසයේ ලංකාවට පැමිණි ඍජු ආයොජන වලින් 46% ක්ම ගෙනාවේ අපේ අමාත්‍යාංශයයි. ඒ වගේම ආර්ථික වර්ධනයෙන් ලබාගත් 4% න් 1ක්, ඒ කියන්නේ 25% ක් ලබාගෙන තිබෙන්නේ අපේ අමාත්‍යාංශයේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ සිදුකළ විප්ලවීය පරිවර්ථනය නිසා. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ මේවා රජයේ ආයෝජන නෙමෙයි පාං පිටිවලට, කිරිපිටිවලට, බදුවලට මෙහි කිසිම සම්බන්ධයක් නහැ. මේවා රජයට බරක් නැහැ. කෙලින්ම විදේශීය ආයෝජන. රාජ්‍ය ණය භාරයට තඹයක් වත් මෙයින් එකතු වෙන්නේ නැහැ. මෙයට ප‍්‍රතිපක්ෂව අපේ ජනතාවට විශාල ප‍්‍රතිලාභ ගණනක් විවෘත වෙනවා. මෙමගින් නිෂ්චිත වශයෙන් කි‍්‍රයාත්මක වෙනකොට රැකියා 80,000 ක් පමණ මේ හරහා ජනනය වෙන්න නියමිතයි. ඒ වගේම දකුණු ආසියාවේ, විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ මූල්‍ය මධ්‍යස්ථානයක් හැටියට අපේ රට ඉහළට ගෙන ඒමට මෙය උපස්ථම්භක වනවා ඇතැ’යි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =