නිදහස උදෙසා වූ ගමන සමඟ ඉදිරියට ගමන් කරනවාද – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – නිදහස උදෙසා වූ ගමන සමඟ ඉදිරියට ගමන් කරනවාද නැත්නම් දූෂණයේ භීෂණයේ පියවරුන් දෙස ආපසු හැරෙනවාද යන තීරණය ජනතාව අත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබේ.

අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය,

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික සම්මුතිවාදී රජය සිය ඓතිහාසික සහ විප්ලවකාරී ජයග්‍රහණය සනිටුවහන් කර වසර 3ක් සම්පූර්ණ වී ඇත. එම වෙනසින් අනතුරුව අප විසින් අත්පත් කරගත් ජයග්‍රහණ බොහෝය. නමුත් අප ඉදිරියේ ඇති අභියෝගද එලෙසම බොහෝය.

ඉදිරි වසර වලදී අපගේ ජාතියේ ගමන් මග තීරණය කරන්නා වූ තීරණාත්මක මැතිවරණයක් සති තුනක් තුළ පැවැත්වීමට නියමිතය. එය, පසුගිය කාලයේ ක්‍රමිකව ගොඩනගන ලද ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තීන් සහ සම්ප්‍රදායන් නැවත වරක් ඉරා බිඳ දමනවාද නැද්ද යන්න තීරණය කරන්නා වූ මැතිවරණයකි. එය, නැවත අපේ රට නිදහසේ සුව විඳිනවාද, නැතිනම් එක පවුලක් සහ ඔවුන්ගේ හෙංචයියන්ගේ තර්ජන, ගර්ජන සහ අපයෝජන වලට බියෙන් සලිතව සැලෙනවාද යන්න තීරණය කරන්නා වූ මැතිවරණයකි.

පෙබරවාරි 10 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හුදෙක් නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල දේශපාලන බලය නතු කර ගැනීම වෙනුවෙන් වන ප්‍රාදේශීය තරඟයක්ම පමණක් නොවේ. එය, පැවති දූෂිත ඒකාධිපති වැඩ පිළිවෙළ යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් වන පෙර පැවති රෙජීමයේ පළමු සැබෑ උත්සාහයයි.

එවැනි සන්ධර්භයක් තුළ තිරසාර සාමය සහ සෞභාග්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මාර්ගයේ වගකීම ඉදිරියට රැගෙන යාම ජනවාරි 8 විප්ලවයේ කොටස්කරුවන්ගේ සහ ඒ හරහා තේරී පත් වූ මහජන නියෝජිතයන්ගේ කරමත පැටවී ඇති දැඩි අභියෝගයකි. සහතිකවම එය වෙහෙසකාරී ගමනකි.

ඉදිරියෙන් ඇති මාර්ගයේදී කලකිරීම්, දුෂ්කරතා සහ අවස්ථා අහිමි වීම් සිදු විය හැකිය.

නමුත්, සමාජයක් ලෙස දැනටමත් අත් කරගෙන ඇති ජයග්‍රහණ, ඒ මත ගොඩනැඟී ඇති සාමය සහ වෙනස සඳහා වූ කවුළුව මා විවෘතව තබමි. අතීතය පිළිබඳ පැහැදිලි මතකයක් තිබීම වැදගත් බව මම විශ්වාස කරමි. මෙම තීරණාත්මක මැතිවරණයේදී සියලු ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ඓතිහාසික තීරණය පිළිබඳව නිරවුල් මනසකින් සහ දීර්ඝකාලීන දැක්මක් ඔස්සේ සලකා බැලීම ඉතා වැදගත් බව විශ්වාස කරමි.

මතකය ගිලිහෙමින් අපි වර්තමාන දේශපාලන ආරවුල් වල පැටලී සිටිමු. 2013 වසරේ අගෝස්තු මස පළමු දින පිරිසිඳු වතුර ඉල්ලා හඬ නැගීමේ වරදට පුරවැසියන් පිරිසක් පැවති රජය විසින් වෙඩි තබා ඝාතනය කළ අයුරු අමතක කිරීම පහසුය. අපි, අපෙන්ම අසා ගත යුතු පැනයක් ඇත. එදා පැවති සුදු වෑන් දැන් කොහේද? ග්‍රීස් යකුන් ගොස් ඇත්තේ කොහේද?

ආණ්ඩුවේ දේශපාලන විවේචකයන් හා විරුද්ධවාදීන් හිරේ නොදමන්නේ මන්දැයි අප ප්‍රශ්ණ කළ යුතුය. මාධ්‍ය ආයතන වලට පහරදීම් සහ ගිනිතැබීම් තව දුරටත් සිදු නොවන්නේ මන්දැයි අප ඇසිය යුතුය. මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම, ඝාතනය කිරීම් තව දුරටත් සිදු නොවන්නේ ඇයිදැයි අප විමසිලිමත් විය යුතුය.

ඔබට ‘නයිට් රේස්’ මතකද? ජනාධිපතිධූරයේ බලතල යොදා ගනිමින් තම පුත්‍රයන්ගේ සුඛ විහරණය උදෙසා කැපවූ ඊනියා ප්‍රේමාන්විත පියාව ඔබට මතකද? ප්‍රතිවිරුද්ධ රග්බි ක්‍රීඩකයන් වීමේ වරදට තරුණයින් ජීවිතයෙන් වන්දි ගෙවූ කාලය ඔබට මතකද?, ජනාධිපතිගේ අසාර්ථක නූගත් මස්සිනා ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය බිමට ඇද වැට්ටූ අයුරු ඔබට මතකද?

පාලක රෙජීමයේ පවුලේ ඇය ගැන රහසින් කනට කොඳුරනවා මිස, යමක් විවෘතව කතා කළ නොහැකි යුගයක් මීට ටික කලකට පෙර තිබූ බව ඔබට මතකද? සැබවින්ම ක්‍රියාකාරී ප්‍රජාත්නත්‍රවාදී රාජ්‍යයකි පුරවැසියන් විසින් බුක්ති විඳිය යුතු මූලිකම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ මේවාය.

පුරවැසියන් මත පටවන ලද බලහත්කාරය සහ දූෂිත රාජපක්ෂ පාලනය 2015දී බිඳ වැටීම අතර ගැඹුරු සම්බන්ධයක් පවතින බව අප කෙදිනකවත් අමතක නොකළ යුතුය.

රාජ්‍ය දේපළ අපහරණය සහ රාජ්‍ය ත්‍රස්තවාදය යොදාගැනීමේ එම සංස්කෘතියම පෙබරවාදි 10 වැනිදා නැවත වටයකින් යළි පැමිණීමට උත්සාහ දරයි. මෙම මැතිවරණයේදී සිදු කරන්නා වූ ඡන්ද ආක්‍රමණයක් ඔස්සේ අනාගත මැතිවරණවලදී ජාතික මට්ටමේ බලපෑමක් එල්ල කිරීමට හැකියාව පවතී. ඉදිරි මැතිවරණය කුඩා එකක් ලෙස පෙනුනද, එය අනාගත ජාතික මට්ටමේ මැතිවරණයකදී බලපෑම් කළ හැකි ප්‍රතිවිපාක සහිත වීමේ ඉඩක් පවතී. අද දිනයේ නැවත නිදහසේ සුවයන් විඳින ශ්‍රී ලාංකීය ජනතාවගේ හිස් මත එහි සෙවනැලි වැටෙන බව නොඅනුමානය.

අප මේ වනවිට ළඟා විය යුතු යැයි බලාපොරොත්තු වූ දේශය කරා ළඟා වීමට තවම අපට නොහැකි වී ඇති බව සැබෑය. නමුත් සුපැහැදිලිවම අපි ඒ කරා නිවැරදි ගමනක් යමින් සිටින්නෙමු.

වෙනස්කම් වැඩිවෙමින් පවතී, දේශපාලන පද්ධති ස්ථාවර හා ඇතැම් විට නිශ්චල විය හැකිය. නමුත් වෙනස්කම් කිරීමේ අවශ්‍යතාව සදාතනිකව නොවෙනස්ය. වඩ වඩාත් ශක්තිමත්ය.

රාජපක්ෂ රෙජීමය සහ එහි සෙසු මංකොල්ලකරුවෝ නැවත වරක් අපගේ නිවෙස් දොරකඩ මුව අයා බලා සිටිති. ශ්‍රී ලංකාව තවත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ. යම් ආකාරයකින්, මෙය නිදහස, ප්‍රජාතන්ත්‍රය සහ සාමය අවශ්‍ය සියලු පුරවැසියන්ගේ තෝරාගැනීම තවත් පැහැදිලිව පෙන්වීම සඳහා අවස්ථාවක් උදා කර තිබේ. පෙබරවාරි 10වෙනිදා ජනතාවට නැවත වරක් තෝරා ගැනීමක් සිදු කිරීමට ඇත. නිදහස උදෙසා වූ ගමන සමඟ ඉදිරියට ගමන් කරනවාද නැත්නම් දූෂණයේ භීෂණයේ පියවරුන් දෙස ආපසු හැරෙනවාද යන තීරණය ඔබ අතේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *