බැදුම්කර වාර්තා විවාදය ලබන 08වනදා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන වාර්තා පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුව ලබන අට වනදා කැඳවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දෙනියාය මොරවක ප්‍රදේශයේ පැවති ජනහමුවක දී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනහමුව සංවිධාන කර තිබුණි. අමාත්‍ය සාගල රත්නායක මහතාගේ උපදෙස් මත ජනහමුව සංවිධාන කළේය. එක්සත් ජාතික පක්‍ෂයට සහාය පළ කරමින් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. දූෂිතයින්, වංචාකාරයින්, ආරක්‍ෂා කිරීමට තමන්ට මෙන්ම පක්‍ෂයට ද කිසිදු වුවමනාවක් නැති බවයි ජනහමුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒහි දී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“මේ දවස්වල මේ කොමිෂන් වාර්තා දෙක වාද කරනවාද නැද්ද කියලා විශාල වාදයක් යනවා… ඊයේ කථානායකතුමාගෙන් ලිපියක් උදේ හම්බවුණා… මේ පාර්ලිමේන්තුව කැඳවීම ගැන අනුර කුමාර දිසානායක එතුමාට එව්ව ලිපියක් එව්වා… මගෙන් කිව්වේ මේ ගැන සලකලා බලන්ට කියලා… මං අනුර කුමාර මන්ත්‍රීතුමාගේ ලිපියත් කියෙව්වා… ඉතිං ඊයේ රාත්‍රීයේ මං කථානායකතුමාට කිව්වා පෙබරවාරි 8වෙනිදා මම පාර්ලිමේන්තුව කැඳවන ලිපිය සඳුදා එවනවා කියලා… ඒ කැඳවන්නේ මේ වාර්තා දෙක විවාද කරන්න.. වෙන කාරණයක් ගැන නෙමෙයි… මේ වාර්තා දෙකෙන් එකක් තියෙන්නේ බැඳුම්කරය… අපි නිතීපතිතුමාට කියලා තියෙනවා කොමිසම අනුව පියවර ගන්ට කියලා.. නඩු දාන්න පුළුවන් අයට නඩු දාන්න ඒ ගැන ක්‍රියා කරන්ට කියලා…. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ… අපිට හංඟගන්න දෙයක් නෑ… පාපිස්සේ යට දාන්න දෙයක් නෑ.. කට කැපුවත් බලය සඳහා මම බොරු කියන්නේ නෑ… ඒ නිසා මම පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ ඕන තරම් 19 වෙනිදා තමයි ඒ වෙනකම් හැමදාම හරි කරන්නේ…. කිසිම ප්‍රශ්නයක් නෑ… ඉතිං ඒක පක්ෂ නායකයින්ට තීරණය කරන්න පුළුවන්… අනිත් වාර්තාවෙත් ඒ වගේම තියෙනවා වැරදිකරුවන් ගැන නඩු දාන්ට ඕනේ කියලා.. දැන් එක යෝජනාවක් තියෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සිවිල් අයිතිවාසිකම් අවුරුදු 7ක් නෙමෙයි ජීවිතය අවසන් වෙනකම් අහෝසි කරන්ට කියලා… එතකොට ඒ අයට මේ ප්‍රශ්නෙත් විසඳගන්න වෙයි කියලා මං කියනවා… ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි… අපිට මිනී මරුවෝ, දූෂකයෝ කවුරුවත් උවමනා නෑ… අපිට ඕනේ විනිවිදභාවයෙන් තියෙන ආණ්ඩුවක් වාගේ විනිවිදභාවයෙන් තියෙන ප්‍රාදේශීය සභාවක් ගෙනියන්න… ඒ නිසා ඔබේ අනාගතයට ප්‍රදේශයේ විනිවිදභාවයක් ඇති පාලනයකට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *