නීති මගින් හෝ දරුවන් දහම් අධ්‍යාපනයට යොමු කිරීමේ වරදක් නැහැ – ඇමති රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) – සාරධර්ම පිරි සමාජයක් බිහි කළ යුතු බවට විවිධ අවස්ථාවල යෝජනා ඉදිරිපත් වුවද ඒ කෙරෙහි යොමු වූ අවදානය ප‍්‍රමාණවත් නොවූ බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මෙතෙක් පැවැති රජයන් ඒ කෙරෙහි නිසි අවදානයක් යොමු නොකළද වත්මන් රජය දහම් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් සාධනීය වැඩපිළිවෙලක් දියත් කරමින් සිටින බව ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ පල්ලම, අඩම්මන දහම් පාසලේ ඊයේ(28) පැවැති වාර්ෂික ත්‍යාග ප‍්‍රධානෝත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

දහම් සිසු නායක නායිකාවන්ට ලාංඡුන පැලදවීම හා දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන්ද විශේෂ ත්‍යාග පිරිනැමීමද සිදු කරන ලදී. අඩම්මන විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය නිවන්දම අනුරුද්ධ හිමියන්ගේ උපදේශකත්වය හා මග ත්‍පන්වීම යටතේ මෙම උත්සවය සංවිධාන කර තිබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

අද රටේ තරුණ තරුණියන්ට ඉවසීම හා හික්මීම නැහැ. පොඩි දේටත් සිය දිවි නසා ගන්නා තත්ත්වයට තරුණ පරපුරේ මානසිකත්වය පිරිහිලා. ඉවසීමෙන් යුතු මිනිසෙකු බිහි කළ හැක්කේ දහම් අධ්‍යාපනය පෝෂණය කිරීමෙන් පමණයි. එදා අපි දහම් පාසලට යන්න සතියක් පුරා ඇගිලි ගනිමින් හිටියත් අද සිසු දරුවන් ටියුෂන් යන්න ඇගිලි ගනින තත්ත්වයකට පත්වෙලා. පෞද්ගලික අධ්‍යාපනය ලැබීම වරදක් නොවෙයි. එහෙත් ඉරිදාට දරුවන්ගේ මනසට විවේකයක් දෙන්න අවස්ථාව සැලසිය යුතුයි. සිසු දරුවන් හෝ දෙමාපියන් හෝ වැඩිහිටියන් මේ කෙරෙහි අවදානය යොමු නොකරන්නේනම් නීති පනවමින් හෝ දරුවන් දහම් අධ්‍යාපනයට යොමු කිරීම වරදක් නොවන බව මාගේ විශ්වාසයයි.

දියුණු සංවර්ධිත සමාජයක් යනු මුදල් මත පමණක් මැන බැලිය යුත්තක් නෙමෙයි. ගුණගරුක බව, සංවේදීබව එහි මුලට එන සාධකයක්. මේ තත්ත්වයන් වර්තමාන සමාජය විසින් පටලවා ගැනීම තුළයි බලවත් අර්බුද නිර්මාණය වී තිබෙන්නේ. ගමක සිසු දරු දැරියන් සියයක් සිටින්නේනම් ඒ අතරින් දහම් පාසලට එන්නේ කීයෙන් කී දෙනාදැයි අද වැනි දවසක සිතා බැලිය යුතුම කාරණයයි. පුත්තලම දිස්ති‍්‍රක්කය තුළ අඩු පහසුකම් යටතේ හෝ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමට මහසගරුවන විශාල වෙහෙසක් දරනවා. එහෙත් දෙමාපියන් වැඩිහිටියන් ඒ කෙරෙහි නිසි අවදානයක් යොමු කරල නැහැ. එබැවින් දහම් පාසලට දරුවන් යොමු කිරීම තුළ ලැබෙන ප‍්‍රතිලාභ කොතරම්ද යන්න මුලින්ම අවබෝධ කර ගත යුතු වන්නේ දෙමාපියන් බව අවධාරණය කළ යුතුයි.

වත්මන් රජය යටතේ සිසුන් මත පටවා ඇති අසීමිත බර සැහැල්ලූ කිරීමට පියවර ගනිමින් සිටිනවා. ඇතැම්විට අධ්‍යාපනය වෙනුවෙන් කි‍්‍රයාත්මක සැලසුම්තුළ සිසු පරපුර අවිවේකී තත්ත්වයකට පත් වෙලා. ඔවුන් දහම් පාසල් යන්නවත් වෙලාවක් නැති තරමට යාන්ත‍්‍ර බවට පත් කරල තිබෙනවා. එබැවින් සිසුන් මත පටවා ඇති අසීමිත බර සැහැල්ලූ කරමින් නිදහස සහිතව බුද්ධීමතුන් ප‍්‍රඥාවන්තයින් බිහි වන්නට අවශ්‍ය මාවත වත්මන් රජය යටතේ සිදු වෙමින් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − two =