වතුකරයේ ජනතාවගේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වතුකරයේ ජනතාවගේ ගැටලු විසඳීමට පුළුල් වූ නව වැඩපිළිවෙළක් මෙම පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

වතුකරයේ නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු සියලු ක්ෂේත‍්‍ර සංවර්ධනය කරමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රජයක් ලෙස ලබාදිය හැකි උපරිම සහය ලබා දෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ (28) පස්වරුවේ තලවකැලේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සඳහා ලංකා කම්කරු කොංග‍්‍රසය විසින් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට ජාති, ආගම් බේදයකින් තොරව වතුකරයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර, ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව පිළිගනු ලැබීය.

උණුසුම් ජනතා ප‍්‍රතිචාර මත වැඩිදුරටත් ජන හමුව ඇමැතු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ සියලු ජනතාවගේ ගැටලු පිළිබඳ තමාට නිසි අවබෝධයක් තිබෙන බවයි. එම ගැටලු මනා ලෙස අධ්‍යයන කරමින් ඒවාට ස්ථීරසාර විසඳුම් ලබාදීම තම අරමුණ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බව පැවසූ ජනාධිපතිතුමා තේ, පොල් ඇතුළු සියලු අපනයන බෝග නිෂ්පාදනය ප‍්‍රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ඉදිරියේදී විශේෂ කමිටුවක් පත් කරන බව ද පැවසීය.

කඳුකරයේ තේවතුවල නැවත තේ සිටුවීම දීර්ඝ කාලයක් පුරා සිදුනොවීම හේතුවෙන් ජාතික ආර්ථිකයට මෙන්ම එම ප‍්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වයට ද සිදුව ඇති බලපෑම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා තේ නැවත සිටුවීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳ වැවිලි සමාගම්, ව්‍යාපාරිකයින් මෙන්ම රජයේ අදාළ සියලු ආයතන කැඳවා සාකච්ඡා කරන බව පැවසීය.

ප‍්‍රතිඅපනයනය හේතුවෙන් තේ කර්මාන්තයට එල්ලවී ඇති බලපෑම වැළැක්වීම සඳහා ද ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම වතුකරයේ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන අතරම ජල උල්පත්වල ආරක්ෂාව සහ කඳුකරයේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව කියා සිටියේය. හැටන්, තලවකැලේ, නුවරඑළිය සහ කඳපොළ නගරවල සංවර්ධනය සඳහා විශේෂ නගර සැලැස්මක් කි‍්‍රයාවට නංවන බව ද පැවසූ ජනාධිපතිතුමා හැටන්, දික්ඔය රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට ද ඉදිරියේදී පියවර ගන්නා බව පැවසීය.

පොදුජන පෙරමුණෙන් මෙවර අඹගමුව ප‍්‍රාදේශීය සභාවට සහ නෝර්වුඞ් ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයින් දෙදෙනෙකු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක්වීම ද විශේෂත්වයකි. අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, එස්.බී. දිසානායක, ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන්, සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රභා ගනේෂන්, මධ්‍යම පළාත් සභා අමාත්‍ය එම්. රාමේෂ්වරන්, මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර පලනි ශක්තිවේල්, පිලිප් කුමාර, මධ්‍යම පළාත් සභාවේ උප සභාපති එස්.බී. රත්නායක, නුවරඑළිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක රොෂාන් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද මෙම ජනහමුවට එක්ව සිටියහ.

මේ අතර නුවරඑළිය දිස්ති‍්‍රක් රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ද මෙම ජනහමුවට සහභාගීවීමට පෙර ජනාධිපතිතුමා එක් විය. ඉදිකෙරෙමින් පවතින නව ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩදියුණු කිරීම වෙනුවෙන් අදාළ ඉදිකිරීම් කඩිනමින් නිම කරන ලෙස ද උපදෙස් දුන්නේය. රෝගීන් 600 කට පමණ නේවාසික ප‍්‍රතිකාර ගැනීමේ පහසුකම් හා අනෙකුත් ශල්‍ය පහසුකම් සමගින් ඉදිවන මෙම නව ගොඩනැගිලි සංකීර්ණය වෛද්‍ය හා හෙද නේවාසිකාගාරයන්ගෙන් ද සමන්විතය.

මේ අතර කොටගල ලංකා කම්කරු පදනම වෙත ද ගිය ජනාධිපතිතුමා වතු කළමනාකරුවන් සමග හමුවකට එක් විය. ඔවුන්ගේ ගැටලු මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරුණු අතර, ඉදිරියේදී සියලු පාර්ශ්ව කැඳවා එම ගැටලු පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 1 =