ආණමඩුවට ජාතික පාසල් 09 ක්

(කොළඹ, ලංකාපුවත්) – ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශයේ පාසල් 09 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

විශාලත්වයෙන් වැඩිම මැතිවරණ කොට්ඨාශයක් ලෙස සැලකෙන ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශය තුළ අධ්‍යාපනයට ඇති පහසුකම් ප‍්‍රවර්ධනය කිරීමේ විශේෂ යෝජනාවකට අනුව මෙම වැඩපිළීවෙල කි‍්‍රයාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉගෙනීමේ ඇත්ත උවමනාවක් මෙන්ම දක්‍ෂතාවලින්ද පිරිපුන් සිසු පරපුරක් ආණමඩුවේ සිටින බවත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින ඔවුන්ට දැන්වත් සාධාරණය ඉටුවිය යුතු බවත් ඔහු කියා සිටියේය. සියළු තොරතුරු සහිතව මේ පිළිබඳ වූ යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ අගමැතිවරයා ඊට අනුමැතිය ලබා දුන් බවයි ඔහු පැහැදිලි කළේය.

ආණමඩුව මැතිවරණ බල ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය. එම සාකච්ඡාව අද (30) පැවැත්වුනේ ආණමඩුව එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේදීයී.

ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය හා නවගත්තේගම, පල්ලම, සාලියවැව, බණ්ඩාරණායකපුර, මදුරංකුලිය යන මහා විද්‍යාල පළමු අදියර යටතේ ජාතික පාසල් ලෙස සංවර්ධනය කෙරෙන පාසල් වේ. තවත් පාසල් 03 ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල දෙවන අදියර යටතේ සිදු කිරීමට නියමිත අතර එම පාසල් මොනවාද යන්න තේරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. මෙම වැඩපිළිවෙල අනුව ආණමුඩුව මැතිවරණ කොට්ඨාශයට ඇතුලත්වන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08 සඳහාම එක් ජාතික පාසල බැගින් ස්ථාපිත වෙයි. 2018 වසර තුළ මෙම කටයුත්ත සිදු කරන බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

මේ අතර ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ආණමඩුවට අයත් පාසල් 87 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *