ජනතා බලය භාවිතා කරමින් සොරුන් බේරීමට උත්සාහ දරමින් සිටින බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය යුගයේ සිදුවූ වංචා, දූෂණ පිළිබඳ සෙවීමට පත්කළ කොමිෂන් සභා වාර්තාවල ඇතුළත් නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කරමින් දූෂිත දේශපාලනඥයින්ට දඬුවම් ලබාදීමට නම් මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළයුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනතා බලය භාවිතා කරමින් සොරුන් බේරීමට උත්සාහ දරමින් සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඊයේ(01) පස්වරුවේ බිබිල, මැදගම ප‍්‍රාදේශීය සභා කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවක් අමතමිනි.

ආදරණීය ඌව වෙල්ලස්ස ජනතාවගේ ගෞරවය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් විශාල ජනතාවක් කි‍්‍රඩාංගණයට රැස්ව සිටි අතර ඔවුන්ගේ උපහාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් විශේෂ උපහාර තිළිණයක් ද ප‍්‍රදානය කෙරිණි.

ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජනතා මුදල් කොල්ල කෑ සහ ජනතා දේපළ විනාශ කළ කිසිවෙකුට සමාව නොදිය යුතු බවයි.

මහ බැංකු මංකොල්ලයට අදාළව රටට අනාවරණය වී ඇත්තේ 2015-2016 කාලසීමාවට අදාළ සොරුන් පිළිබඳ පමණක් වුවත් මේ රටේ අහිංසක කම්කරු ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල විශාල වශයෙන් විනාශයට පත්ව ඇත්තේ 2008 වසරේ සිට බව කොමිෂන් සභා වාර්තාව පෙන්වා දී තිබෙන අතර ඊට වගකිව යුතු පිරිස කවුදැයි රටේ ජනතාව හොඳින් දන්නා බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වෙන ජනහමු මාලාවේ තවත් සාර්ථක ජනහමුවක් මෙලෙස බිබිල මැදගම ප‍්‍රාදේශීය සභා කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

අමාත්‍ය ගාමිණි විජිත් විජියමුණි ද සොයිසා, සුමේධා ජී. ජයසේන, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, ඌව පළාත් මන්තී‍්‍රවරුන් වන උදාර සොයිසා, චන්දන වැලිවිට, කුඩා බණ්ඩාර මැදවෙල, බිබිල ප‍්‍රාදේශීය සභා කණ්ඩායම් නායක බුද්ධික සෙනෙවිරත්න. මැදගම ප‍්‍රාදේශීය සභා කණ්ඩායම් නායක ගාමිණි රොෂාන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද මෙම ජනහමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + six =