බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව නමින් ප්‍රචාරයවන ලේඛනය ව්‍යාජ ලේඛනයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 70 වැනි සංවත්සරික ජාතික නිදහස් දින උත්සවය සඳහා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගීවන එඩ්වර්ඩ් කුමරු සහ ඔහුගේ ආර්යාව පිළිගැනීමේ දී ලාංකිකයන් විසින් අනුගමනය කළ යුතු කරුණු යැයි සඳහන් කරමින් බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව නමැති ලිපි ශීර්ෂයක් යොදාගෙන ගෙන යන ප්‍රචාර සාවද්‍ය බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

ජාතික නිදහස් දින උත්සවයේ සියලු සංවිධාන කටයුතු කරනු ලබන්නේ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගිනි. එහි ආරාධනා කිරීම්, සංවිධානය කිරීම් ඇතුළු සියලු කටයුතු අනිකුත් රේඛීය අමාත්‍යාංශ සමග සම්බන්ධවෙමින් සිදුකරනු ලබන අතර විදෙස් නියෝජිතයන්ට ආරාධනා කිරීම් හා ඔවුන්ට පහසුකම් සැළසීමේ සියලු කාර්යයන් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබයි.

මෙවර 70 වැනි නිදහස් සමරුව සුවිශේෂී අවස්ථාවක් බැවින් බ්‍රිතාන්‍යය, ජපානය, චීනය ඇතුළු රටවල් ගණනක රාජකීයයන්ට හා රාජ්‍ය නියෝජිතයන්ට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ආරාධනා කරනු ලැබූ අතර බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයන් මෙවර නිදහස් දින උත්සවයට සහභාගීවන බව තහවුරු කර ඇතැම් නියෝජතයෝ මේ වනවිටත් දිවයිනට පැමිණ සිටිති.

ඔවුන් සම්බන්ධයෙන් සියලු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදුකරනු ලබන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගිනි.

අප මතු සඳහන් කළ පරිදි මෙම කාර්යය සඳහා බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව නමැති සංවිධානයක් හෝ කමිටුවක් හෝ නොමැත. එවැන්නක් තිබීමේ අවශ්‍යතාවක් ද නොමැත. මාධ්‍ය වෙත හා සමාජ මාධ්‍ය වෙත ව්‍යාජ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් යොදා ගනිමින් එම කමිටුවේ ලේකකම්වරයා යැයි කියා ගන්නා පුද්ගලයකු නිකුත් කර ඇති ලේඛනය ව්‍යාජ ලේඛනයකි.

මෙම ලේඛනයට නොරැවටෙන ලෙසත් එහි සඳහන් කරුණු පිළිනොගන්නා ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *