බෙල්ලන්විල විමලරතන නාහිමි ආදාහන පූජෝත්සවයට පූර්ණ රාජ්‍ය ගෞරව

(කොළඹ, ලංකාපුවත්) – අපවත් වී වදාළ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 08වනදා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේ දී සිදුකිරීමට නියමිතය.

නායක ස්වාමීන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ පස්වරුවේ එක්විය.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටි.

මේ අතර මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන් වහන්සේ අපවත් වී ඇත්තේ සැත්කමෙන් පසු ඇති වූ හදිසි හෘදයාබාධයකින් බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී බී දසනායක මහතා පැවසීය. පශ්චාත් මරණ පරීක්ෂයේදී හෙළි වුණේ උන්වහන්සේට සිදු කළ සැත්කම සාර්ථක ලෙස අවසන් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ හෘදයාබාධයකින් අපවත් වීම සිදු වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *