අපේ පාවහන්වලට 2020 දී හොඳ අපනයන වෙළෙද පොළක්

(කොළඹ, ලංකාපුවත්) –2020 වන විට ලෝකයේ සපත්තු හා සම්භාණ්ඩ වෙළෙඳපොළ ඩොලර් බිලියන 600ක් හෙවත්, රුපියල් බිලියන 90,000ක් ඉක්මවා ගොස් ගෝලීය වෙළෙඳපොළ පුළුල්වීම නිසා අපේ සපත්තු හා සම්භාණ්ඩවලට 2020 දී ඉතා හොඳ අපනයන වෙළෙඳපොළක් ලැබෙන බවත් ඒ නිසා අපේ ව්‍යවසායකයින් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන ප්‍රදර්ශනය” නිමිත්තෙන් ශුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි .

මෙම ප්‍රදර්ශනයට ඉන්දියාව, පකිස්ථානය, චීනය හා ශ්‍රි ලංකාව ඇතුළු රටවල් කීපයක් එක්ව සිටිය අතර, මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමය සංවිධානය කර තිබුණි.

මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහයෝගය ලබාදි තිබුණි. මෙම ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ වන්නේ 2007 වසරේදීය. මෙවර පැවැත්වෙන්නේ 10 වැනි ප්‍රදර්ශනයයි. පසුගිය 2017 වසරේදී ශ්‍රී ලංකාව පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රැපියල් මිලියන 18,480 ක හෙවත් කෝටි 1848 ක ආදායමක් උපයා ඇත.

මෙහිදී වැඩිදුරටත් එම නිවේදනය මගින් අදහස් දක්වන අමාත්‍යවරයා මෙසේද සඳහන් කරයි.

“අපේ පාවහන් හා සම්භාණ්ඩ අපනයනය ප්‍රමුඛ වීමට හේතුවන්නේ, මෙම කර්මාන්තයට විශාල පරිමාණ ව්‍යවසායකයින් පමණක් නොව, කුඩා හා මධ්‍යම පරිමාණ (SME) ව්‍යවසායකයින්ද එකතු විමයි. මෙම කර්මාන්තය නිසා සෘජුව හා වක්‍රව ලක්ෂ 3 කට අධික ශ්‍රම බලකායක් සේවයේ යෙදෙනවා. ඒ වගේම මෙම ප්‍රදර්ශනය මගින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ටද ජාත්‍යන්තර වෙළෙද පොළට ඇතුළුවීමට අවස්ථාවක් සැළසෙනවා. වර්ෂ 2020 වන විට ලෝකයේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳපොළ ඩොලර් බිලියන 600 හෙවත් රුපියල් බිලියන 90,000 ඉක්මවා පුළුල් වෙනවා. එහිදී පාවහන් වෙළෙඳපොළ ඩොලර් බිලියන 370 ක් ඉක්මවා යාමටත්, අනෙකුත් සම්භාණ්ඩ වෙළෙඳපොළ ඩොලර් බිලියන 270 ඉක්මවා යාමටත් පුළුවන් බවට තක්සේරු කරලා තියෙනවා. මේ ආකාරයට මධ්‍යම පාන්තික පාරිභෝජනය හා සුඛෝපභෝගී පරිභෝජනය ලෝකය පුරාම වැඩිවන පසුබිමක අපේ පාවහන් හා සම්භාණ්ඩ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොලේ අඩු වියදම් අපනයනයට සුවිශේෂි අවස්ථාවක් උදාවෙනු ඇතැයි විශ්වාස කරනවා”.

එසේම මෙම මධ්‍යම පාන්තික පරිභෝජනය ඉහළ යාම සමග මෝස්තර සහිත සපත්තු සඳහා ඇතිවන ඉල්ලුම වේගයෙන් ඉහළ යන බැවින් පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයින්ට තාක්ෂණික දැනුම සහිත පුහුණුක් ලබාදීම මගින් අපගේ දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ අපනයනයන් ජාත්‍යන්තර ඇගළුම් කර්මාන්තයේ මට්ටමට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *